ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

40. පිළින්දවච්ඡ වග්ග

10. අජිත ථෙරාපදානය

’’සියළු ධර්‍මයාගේ පරතෙරට ගිය ලෝක නායකවූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩ හුන් සේක.

’’මම බුදුරජුන් නොදිටිමි. මම (උන්වහන්සේගේ) ශබ්දයද නොඅසමි. එකල්හි (මම) මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.

’’එහිදී දෙතිස් මහ පුරිස් ලකූණින් යුතුවූ බුදුරජාණන් වහන්සේ දුටිමි. දැක, ’’මෙතෙම කිනම් සත්ත්‍වයෙක් වන්නේදැ’’ යි සිතක් පහළවිය.

’’(එම) මහා පුරුෂ ලක්‍ෂණ බලා මාගේ ලක්‍ෂණ විද්‍යාව සිහි කෙළෙමි. මා විසින් මේ වෘද්‍ධවූ පණ්ඩිතයන්ගේ සුභාෂිත වචනය අසන ලද්දේ මැයි.

’’ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙතෙම බුදුවරයෙක් වන්නේය. මම උන්වහන්සේට සත්කාර කරන්නේ නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතියද පිරිසිදු වන්නේය.

’’මම වහා අසපුවට ගොස් මී තෙල් ගතිමි. සැලියක්ද ගෙන බුදුරජුන් වෙත එළඹියෙමි.

’’මම ත්‍රිදණ්ඩය (පිරිවැජි පුටුව) ගෙන එලිමනනෙහි තැබීමි. එසේම මම පහණ දල්වා අට වරක් වැන්දෙමි.

’’පුරුෂොත්තමවූ බුදුරජතෙම දිව රෑ සතක් (සතියක්) (එහි) වැඩහුන් සේක. ඉක්බිති රැය අවසන්හි බුදුරජතෙම ඉන් නැගී සිටි සේක.

’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, දිවා රෑ සතක් ප්‍රසන්නවූයේ, සියතින්ම බුදුරජුන්හට පහනක් පිදීමි.

’’ගන්‍ධමාදන පර්‍වතයෙහි සුගන්‍ධයෙන් කළාක් වැනිවූ සියළු වනයෝ එකල්හි බුද්‍ධානුභාවයෙන් බුදුරජුන් වෙතටම එළඹියාහුය.

’’කිසියම් පුෂ්ප සුගන්‍ධ කෙනෙක් වූවාහුද, පිපුණාවූ වෘක්‍ෂ කෙණෙක් වූවාහුද, එකල්හි බුද්‍ධානුභාවයෙන් ඒ සියල්ලෝද රැස්වූහ.

’’යම්තාක් හිමවතෙහි නාගයෝද, ගුරුළෝද යන මේ දෙවගෙහිවු ඔවුහු ධර්‍මයද අසනු කැමැත්තාහු, බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියාහුය.

’’(එකල්හි) බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ දෙවළ නම් ශ්‍රමණ තෙමේ රහතුන් සියක් දහසක් සමග බුදුරජාණන් වහන්සේගේ සමිපයට එළඹියේය.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් පහන්වූයේ, සියතින් (ම) මට පහණක් දැල්වූයේද, හේ (කවරක්දැයි) මම පවසන්නෙමි. එය පවසන්නාවූ මාගේ වචනය අසව්.

’’(හෙතෙම) කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජද වන්නේය.

සොළසමං භාණවාරං.

’’සතිස් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්සිය වරක් මහත්වූ පෘථිවි රාජ්‍යය කරවන්නේය. (එසේම කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’මෙම ප්‍රදීප දානය කරණකොට ගෙන, දිවැස් ඇත්තේ වන්නේය. (එසේම) මෙතෙම හැම කල්හි හාත්පස දුණු දෙසිය පණසක්වූ අර්‍ධ කොෂයක් දුර දකින්නේය.

’’දෙව්ලොවින් චුත වන්නාවූද, (අන්තැනක) උපදින්නාවූද, මෙම සත්ත්‍වයාහට දිවා කල්හි වුවද, රාත්‍රියෙහි වුවද, ප්‍රදීපයක් දරන්නේය.

’’(මෙම ප්‍රදීප දානමය) පුණ්‍ය කර්‍මය හා යෙදී උපදින්නාවූ සත්ත්‍වයාගේ (එම උපදින) නගරය යම්තාක් වේද, ඒ තාක් එම නගරය බබලන්නේය.

’’(මෙතෙම) මෙම ප්‍රදීප දානයාගේද, අන්‍යවූ ශිෂ්ඨාචාරයකින් කළ අභිවාදන කර්‍මයාගේද ඵලයෙන් දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදීනම් (එහිදී) කිසිදු සත්ත්‍වයෙක් මොහු (පරදවා) ජය නොගන්නේය. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.

’’කල්ප සියක් දහසක් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළවන්නාහ.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදිවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖෙරස බුද්ධ පුත්‍රවූ (මෙතෙම) සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් සතුටුකොට නම්න් අජිත නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.

’’මම කල්ප සැට දහසක් දෙව්ලොවෙහි රමණය කෙළෙමි. එහිදි මට සර්‍වකාලීකවූ ප්‍රදීප සියයක් බබලයි.

’’දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද මාගේ ප්‍රභාවෝ පැතිරෙත්. මම බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිකොට වැඩියක්ම සතුට ඉපදවීමි.

’’මම තුෂිත දෙව්ලොවින් චුතව මව් කුසෙහි ඉපදුනෙමි. (එම මව්කුසින්) බිහිවන්නාවූ මාගේ මහත්වූ ආලෝකයෙක් විය.

’’(මම) ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. බාවාරී තවුසා වෙත එළඹ ශිෂ්‍ය බවටද පැමිණියෙමි.

’’හිමවතෙහි වසන්නාවූ මම ලොක නායකවූ බුදුරජුන් (ගැන) ඇසීමි. උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන්නේ, විනායකවූ එම බුදුරජුන් වෙත එළඹියෙමි.

’’බුදුරජතෙම දැමුනේය. අනුන් දමනය දරණ ගුණ ඇත්තේය. චතුරෝඝයන් තරණය කළේය. ස්කන්‍ධාදී උපධි විරහිතය. එම සර්‍වඥතෙම සියළු දුකින් මිදෙන්නාවු නිවනද වදාළහ.

’’උන්වහන්සේ වෙත මාගේ පැමිණීම සිදුවිය. මම බුදුරජුන් තුටුකළේ වෙමි. (එසේම) මා විසින් පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් පහණක් පිදීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිප දානයාගේ මේ විපාකයයි.

’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අජිතත්ථෙරස්සාපදානං දසමං.

පිලින්දවච්ඡවග්ගො චත්තාලීසමො.

පදුමවග්ගදසකං.

චතුත්ථසතකං සමත්තං.