ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
41. මෙත්තෙය්‍ය වග්ග
1. මෙත්තෙය්‍ය ථෙරාපදානය
’’ශිලා පර්‍වත කූටයකවූ, විවේක ස්ථාන නම්වූ පබ්භාරයක් ඇසුරුකොට සොභිත නම් තවුසෙක් ස්වයංපතිත ඵල අනුභවකොට කඳු අතරෙහි වෙසෙයි.
’’මම එකල්හි ගිනිද, දරද ගෙනවුත් උත්තමාර්ත්‍ථය සොයමින් බඹලොව ඉපදීම සඳහා (එය) දැල්වීමි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම මා සසර දුකින් ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට වැඩි සේක. (වැඩ, මෙසේ වදාළ සේක.)
’’මහ පිණැත්තාණනි, කුමක් කෙරෙහිද? ගිනි හා දර මටද දෙව. මමද අග්නි පරිවරණය කරන්නෙමි. එයින් මාගේ ශුද්‍ධියද වන්නේය’’ කියායි.
’’මිනිසුන් අතුරෙහි ඔබ ඉතා යහපත් කෙනෙක් වෙහිය. දෙවියන් කෙරෙහි වූ තත්ත්‍වයද ඔබ දන්නෙහිය. ඔබ අග්නි පරිවරණය කළ මැනව. ඒකාන්තයෙන් මේ ගිනි හා දර ඔබටය’’ යි (තවුසා කීය.)
’’ඉක්බිති බුදුරජතෙම දර ගෙන ගිනි දැල්වූහ. එහි (එම) දර නොදැල්විනි. (එය) බුදුරජුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.
’’තාගේ ගින්න නොදැල්වේ. තාගේ යාගයක්ද නැත. (මෙය) තාගේ නිරර්ථක ව්‍රතයකි. මගේ ගිනි පුදව’’ (යයි බුදුරජතෙම වදාළ සේක.
’’මහා වීරයන් වහන්ස, ඔබ (විසින්) ඒ කෙබඳු ගින්නක් කියනු ලැබේද? මෙය මටද කියනු මැනව. (ඉක්බිති) අප දෙදෙනාම ගිනි පුදමු’’ (යයි තවුසා කීය.)
’’(දුඃඛ) ධර්‍මයන්ගේ නිරෝධය සඳහාවූ හේතුවත්, කෙළෙස් සන්සිඳීම සඳහාවූ හේතුවත්, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍යයන් හැර (දැමීම) යන මේ තුණ මාගේ ගින්නය’’ (යි බුදුරජතෙම වදාළ සේක.)
’’මහා වීරයන් වහන්ස, ඔබ කෙබඳු කෙනෙක් වෙහිද? නිදුකාණෙනි, (ඔබ) කිනම් ගෝත්‍රයක් ඇත්තෙහිද? ඔබගේ ආචාර ප්‍රතිපත්තීන් දැඩිය. (එය) මට රුචි කෙරේ.’’ (යයි තවුසා කීය.)
’’(මම) ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නේ වෙමි. අභිඥාවන්ගේ පරතෙරටද ගියේ වෙමි. සියළු ආශ්‍රවයන් ක්‍ෂය කළේ දැන් නැවත ඉපදීමක්ද නැතැ’’ යි (බුදුරජතෙම වදාළ සේක.)
’’සර්‍වඥයන් වහන්ස, ආලෝකකරයාණන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමාණන් වහන්ස, ඔබ ඉදින් (එසේ නම්) බුදුරජ වෙහිය. විශුද්ධි දෙවියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි. ඔබ දුක් නැතිකරන්නෙහිය’’ යි (තවුස්තෙම කීය.)
’’(එසේ කියා) මම අඳුන් දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (දී මෙසේද කීමි.) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්‍වඥයන් වහන්ස, මම ඔබ වෙත එළඹ සිටින්නෙමි’’ (යයි තවුසා කීය.)
’’භාග්‍යවත් තෙමේ මනාව අතුල අඳුන් දිවිසමෙහි වැඩහුන්සේක. මම සම්බුදුරජුන් පවරා පර්‍වතයට ගියෙමි.
’’කද පුරවා තිඹිරි ගෙඩි ගෙන ආමි. මම (එම) ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.
’’එකල්හි සර්‍වඥ තෙම ධා්‍යන කරන්නාවූ (මාගේ) (එම දානය) වැළඳි බුදුරජුන් දෙස බලමින් එහිදී (මාගේ) සිත පැහැදවීමි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් පැහැදුනේ සියතින් (මේ) ඵලයෙන් (මා) සන්තර්‍පණය කෙළේද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. එය කියන්නාවූ මාගේ වචනය අසව්.
’’හෙතෙම පස්විසිවරක් දිව්‍ය රාජ්‍යය කරවන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.
’’පූර්‍ව කර්‍මය හා යෙදුනාවූ ඔහුගේ අදහස දැන (ඒ අනුව) මාහැඟි ආහාරද, පානද, වස්ත්‍රද, සෙනසුන්ද,
’’(එම) කුශල කර්‍ම විපාකය හා යෙදුනාවූ එකෙණෙහි උපදින්නාහුය. හැම කල්හි මෙතෙම නීරෝගීවූයේ, ප්‍රමුදිතවූයේද වන්නේය.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යොනියක උපදින්නේද, ඒ සිය එතන්හි සුව ඇත්තේම මිනිසත් බවට පැමිණෙන්නේය.
’’මෙතෙම වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වෙදත්‍රයෙහි පරතෙරට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේය.’’ (කියායි.)
’’යම්තැනක පටන්කොට මාගේ අත්බව සිහි කෙරෙම්ද, යම් තැනක පටන්කොට නුවණැති බවට පැමිණියේ වෙම්ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝග සම්පත්තියෙහි අඩුවක් නැත. ඵල දානයාගේ මේ විපාකයයි.
’’උතුම්වූ සසුනට පැමිණියේ, රාග ද්වේෂයන් වැනසීමි. සියළු ආශ්‍රවයන් ක්‍ෂ කළේ වෙමි. දැන් නැවත ඉපදිමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෙතේතෙය්‍ය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිස්සමෙත්තෙය්‍යත්ථෙරස්සාපදානං පඨමං.