ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

40. පිළින්දවච්ඡ වග්ග

9. සබ්බදායක ථෙරාපදානය

’’මට මහ සමුදුරට බැසගත්, මැනවින් නිර්මිත කරණ ලද භවනයක් විය. (එය අසළ) සක්වා ලිහිණියන් විසින් නාද පවත්වන ලද, මන්දාලක පුෂ්පයන්ගෙන්ද, පද්මයන්ගෙන් හා උත්පලයන්ගෙන්ද ගැවසීගත් මැනවින් නිමකළ පොකුණක් විය. එහි මනාවූ කුඩා තොටුපලවල් ඇති, මනරම්වූ මස් කැසුබුවන්ගෙන් ගැවසීගත්, රැස්වූ නොයෙක් මෘග සමූහයා ඇති ගංගාවක් තොමෝ ගලා බසින්නීය. එම විමනෙහි මොනරුන්ගේ හා කොස්වා ලිහිණියන්ගේ හඬින්ද, කොවුල් ආදී පක්‍ෂීන්ගේ හඬින්ද (මනරම් බවක් ඇත.)

’’පරවියෝය, රවි හංසයෝය, සක්වාලිහිණියෝය, (ගංගාවන්හි හැසිරෙන) නදීවරයෝය, කිරලෝය, සැළලිහිණියෝය, ජීව-ජීව අනුකරණයෙන් හඬන්නාවූ) ජීව-ජීවකයෝය, උණහපුළුවෝය යන මොවුහු එහි බොහෝ වූහ.

’’එහි නාද පවත්වන ලද හංසයෝද, කොස්වා ලිහිණියෝද, බකමුහුණෝද, පිඞ්ගලයෝද යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත් රුවනින් යුත්, මිණි මුතු සහිත වැලිද, නොයෙක් සුවඳ හමන, සියල්ල රන්මුවාවූ ගස්ද හැම කල්හි එම භවනය දිවා රෑ දෙක්හි බබුළුවත්.

’’සැට දහසක් තූර්‍ය්‍යයන් සවසද, උදෑසනද වයත්. හැම කල්හි සොළොස් දහසක් ස්ත්‍රීහු මා පිරිවරත්.

’’මම භවනයෙන් නික්ම, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහත් යශස් ඇති, ලෝකනායකවූ ඒ සුමේධ බුදුරජුන්හට වැන්දෙමි.

’’සම්බුදුරජුන් වැඳ, සංඝයා සහිත එම බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්ත්‍රණය) ලෝකනායකවූ ප්‍රාඥවූ ඒ බුදුරජ තෙම ඉවසූහ.

’’බුදුරජ තෙම මට ධර්‍ම කථාවක් කොට මා පින් දහම්හි යෙදවූහ. එම සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.

’’පෙරවරු කල්හි බුදුරජ තෙම (මාගේ) භවනයට වඩින්නාහ. තොපි සියල්ලෝම රැස්වව් යයි පිරිවර ජනයාට ඇමතීමි.

’’ඔබ සමීපයෙහි (අපි) යමෙක් වෙසෙමුද, (ඒ) අපට ලාභයකි. යහපත් ලාභයකි. අපිදු ශාස්තෘවූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමුයි (පිරිවර ජනයා කීහ.)

’’මම ආහාර-පාන පිළියෙළකොට තබා කාලය දැන්වීමි. ලෝකනායකවූ බුදුරජතෙම රහතුන් සියක් දහසක් සමග වැඩි සේක.

’’මම පසඟතුරු සහිතව පෙර ගමන් කෙළෙමි. පුරුෂොත්තමවූ බුදුරජතෙම සියල්ල රුවන්මුවාවූ පුටුවෙහි වැඩහුන්නාහ.

’’එකල්හි (එහි) සියල්ල රුවන් මුවාවූ උඩුවියනක් විය. බික් සඟන අතුරෙහි විජිනිපත් (මාරුතය) හමයි.

’’බොහෝවූ ආහාර පානයෙන් භික්‍ෂු සඞ්ඝයා සන්තර්‍පණය කෙළෙමි. මම වෙන වෙනම වස්ත්‍ර යුගලය බැගින් බික් සඟනට දුනිමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සුමේධ බුදුරජුන්යයි යමෙකුට කියත්ද, (ඒ බුදුරජතෙම) භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් මාද, මේ සියල්ලන්ද ආහාරයෙන් හා පානයෙන් තෘප්ත කළේනම් හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසව්.

’’අටළොස්සියවන (එක් දහස් අටසිය වන) කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.

’’දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ යම් උත්පත්තියකට යේද (ඒ) හැමකල්හි සියල්ල රුවන්මුවාවූ වියනක් දරන්නේය.

’’තිස් දහස් කපකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නාහ.

’’(හෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ ඖෙරස බුද්ධ පුත්‍රයෙක් වේ. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

’’(හෙතෙම) බික් සඟන මැද හිඳ අභීත නාද කරන්නේය. (ඔහුගේ මළ සිරුර තැන්පත් කළ) චිතකයෙහි පවා ඡත්‍රයක් (කුඩයක්) දරත්.

’’මා විසින් (දැන්) පැමිණෙන ලද (සෝවාන් ආදීවූ සතර මහ (නුවණ) ශ්‍රාමාණ්‍ය ඵල ඇත්තේය. (එසේම) මා විසින් ක්ලේශයෝ දවන ලදහ. මණ්ඩපයක හෝ වෘක්‍ෂ මූලයක හෝ සිටියේ මට සන්තාපයක් ඇති නොවේ.

’’තිස්දහස් කපකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සර්‍ව දානයාගේ මේ විපාකයයි.

’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සබ්බදායකත්ථෙරස්සාපදානං නවමං.