ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
41. මෙත්තෙය්‍ය වග්ග
3. මෙත්තගු ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි අසෝක නම් පර්‍වතයක් විය. එහි මට විශ්වකර්‍මයා විසින් මවන ලද ආශ්‍රමයක් විය.
’’අග්‍රකාරුණීකවූ සුමේධ නම් සර්‍වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹි සේක.
’’(එසේ) එළඹියාවූ, මහාවීරවූ, ලෝකනායකවූ සුමේධ බුදුරජුන් (දැක) පාත්‍රය ගෙන ගිතෙලින් පිරවීමි.
’’මම ලෝකනායකවූ සුමේධ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කෙරෙහි (එය) පිළිගන්වා, ඇඳලි බැඳගෙන වැඩියක්ම සතුට ඉපදවීමි. (මෙසේද පැතීමි.)
’’මේ ගිතෙල් දන කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, දෙවිවූයේ හෝ, මනුෂ්‍යවුයේ හෝ මහත්වු සැප ලබමි.
’’දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. (නිවණෙහි) සිත පිහිටුවා අමෘතපදයද ලබමියි (කියායි.)
’’යම් (ඒ සර්‍වඥත්‍වයට පත්) මා (මේ) බමුණුතෙම දුටුයේද (බමුණ) එය ඔබට ලාභයකි. ඔබ විසින් එය මැනවින් ලබන ලද්දකි. ඔබ මාගේ දර්‍ශනය හේතුකොටගෙන රහත් වන්නෙහිය.
’’(ඔබ) විශ්වාසය ඇත්තෙක් වන්න. බිය නොවන්න. මට ගිතෙල් (දන්) දී, මහත් යශස් ලබා සසරින්ද මිදෙන්නෙහිය.
’’මේ ගිතෙල් දන කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, (ඔබ) දෙවිවූයේද, මිනිස් වූයේද, මහත් සැප ලබන්නෙහිය.
’’මෙත් සිතින් යුතුව කළ මෙම ගිතෙල් දන කරණකොටගෙන අටලොස් සිය වන හෙවත්, එක් දහස් අටසියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහිය.
’’අටතිස් වරක් දෙව් රජ වන්නේය. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
’’එක් පණස් වරක් සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපතිවූ (සතුරුරජුන්) ජය ගන්නා සුළුවූ, ජම්බුද්වීපයට විශේෂයෙන් අධිපතිවූ සක්විති රජ වන්නෙහිය.
’’යම්සේ මහ සයුර නොකැළඹිය හැකිද, මහ පොළොව නොසෙල්විය හැකිද, ඔබගේ භොග සම්පත්ද එසේම පමණ කළ නොහැක්කාහු වෙති.
’’මම සැට කෝටියක වැඩට නොයෙදූ රන් හැර දමා, කුසල් නම් කුමක්දැයි සොයමින් බාවාරි වෙත එළඹියෙමි.
’’එහි මම මන්ත්‍රද, ෂඩඞ්ග ලක්‍ෂණ ශාස්ත්‍රයද හදාරමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ ඝනාන්‍ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළවූ සේක
’’මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේගේ දර්‍හනය කැමැත්තෙන් මම පැමිණියේ, ඔබ වහන්සේගේ ධර්‍මය අසා අමෘත පද නම් නිවනට පැමිණියේ වෙමි.
’’මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. (එදා සිට මෙදා දක්වාවූ) මේ අතරතුර මා විසින් වචනයෙන් කියා ඉල්වා ගන්නා ලද ගිතෙලක් ගැන නොදනිමි. (සුලභ බැවිනි.)
’’මාගේ අදහසට අනුව ඉදින් කැමති දැය පහළ වේද, සිත දැනගෙන මෙන් පහළවූ එය (ගෙන) මම (සෙසු) සියල්ලන් සන්තර්පණය කරමි.
’’බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි. බුදුරජුන්හට ගිතෙල් ටිකක් දී (එය) අපමණව ලබමි.
’’මේරු පර්‍වත පාර්‍ශවයෙක්හි ඇති මහ සමුදුරෙහි දිය යම් පමණ වේද, (එම දිය) මාගේ (මේ) ගිතෙල් හා සසඳන කල්හි දෙතිසෙන් කොටසක්වූ (කලා භාගයකට) ද නොපැමිණෙන්නේය.
’’මට පහළවන්නාවු වස්ත්‍ර මුළු සක්වලෙහිම රැස් කරණ කල්හිද එම අවකාශය නොපොහොනේ වේ.
’’ඉතා උස්වූ හිමවත් පර්‍වත රාජයා පවා මා අලෙවි දුන් සුවඳ විලවුන් හා උපමාවකට (පමණ) නොවන්නේය.
’’වස්ත්‍රද, සුවඳද, ගිතෙල්ද මෙම අත්බැව්හිදීම ලබන ලද අසංස්කෘත නිර්‍වාණයද (ඇත්තේ වෙමි) ගිතෙල් දනෙහි මේ විපාකයයි.
’’අද (මම) සතිපට්ඨාන ධර්‍මයන්ගෙන් යුත් සයනය කිරීම් (ආදි ඉරියව්) ඇත්තේ, සමාධි ධ්‍යාන අරමුණුකොට ඇත්තේ, සප්ත බොධ්‍යඞ්ග ධර්‍ම ආහාරකොට ඇත්තේ වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෙත්තගූ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මෙත්තගුත්ථෙරස්සාපදානං තතියං.