ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

41. මෙත්තෙය්‍ය වග්ග

4. ධොතක ථෙරාපදානය

’’හිමවතින් හටගන්නාවූ භාගීරථි ගඞ්ගාතොමෝ එකල්හි හංසවතී නගරයෙහි වාරයකින් ගලා බස්නීය.

’’ගං ඉවුරෙහි මැනවින් කරණ ලද සොභිත නම් ආරාමයක් විය. එහි ලෝක නායකවූ පදුමුත්තර බුදුරජ තෙම වැඩ වෙසන්නාහ.

’’තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කෙශර සිංහරාජයකු මෙන් වැඩහුන් සේක.

’’මම හංසවතී නගරයෙහි බමුණෙක්ව වෙසෙමි. මම නම්න් ’’ජළඞ්ග’’ නම් මුනිවරයෙක් වෙමි.

’’එකල්හි අටළොස් සියයක් (එක් දහස් අට සියයක්) ශිෂ්‍යයන් මා පිරිවරනු ලබයි. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගඞ්ගා තීරයට එළඹියෙමි.

’’එහිදී කුහක ප්‍රතිපදා නැති, දොවාහළ පව් ඇති ශ්‍රමණයන් වහන්සේ දුටිමි. උන්වහන්සේ භාගීරථ ගඟ තරණය කරණ කල්හි මම එකෙණෙහි මෙසේ සිතීමි.

’’මහත් කීර්ති ඇති මේ බුද්ධ පුත්‍රයෝ සවස සහ උදයෙහි (මේ ගඟ) තරණය කරන්නාහු, තමන් වෙහෙසවත්. ඔවුන් තෙමේම වෙහෙසේ.

’’දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජතෙම අග්‍රයයි කියනු ලැබේ. (සසර) ගමන් මග පිරිසිදු වන්නාවූ දක්‍ෂිණාර්හයන් කෙරෙහි මාගේ පින්කමකුදු නැත.

’’ගඟෙහි බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට ගෙයක් (ඒ දණ්ඩක්) කරන්නේ නම් ඉතා මැනවි. මෙම පින්කම කරවා මෙම භවය තරණය කරමි’’ යි (කියායි.)

’’මා විසින් කරණ ලද පින්කම මහත් ඵල වන්නේයයි අදහමින් මම ලක්‍ෂයක් (වැයකොට) දී ගෙයක් කරවීමි.

’’මම ගෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මෙම වචනයද කීමි. (කෙසේදයත්?)

’’මහාමුනීන් වහන්ස, මා විසින් ලක්‍ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත්වූ ගෙයක් කරවන ලදී. (එය) පිළිගනු මැනව’’ කියායි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූද පදුමුත්තර බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් පහන්වූයේ, සියතින් මට ගෙයක් කරවූයේද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේම පවසන්නාවූ මාගේ (වචනය) අසව්.

(සෙතුදානආනිසංසො)

’’මෙතෙම කඳුරකින් (පර්‍වත විවරයකින්) හෝ, පර්‍වතයකින් හෝ, ගසකින් හෝ වැටුනේ නමුදු (ඉන්) ගිලිහුනු කෙණෙහි (ප්‍රතිෂ්ඨා) ස්ථානයක් ලබන්නේය. සේතු (හේ දඬු) දානයාගේ මේ විපාකයයි.

’’වාතය තෙමේ වැඩීගිය මුල් සමූහය ඇති මහ ගසක් (බලයෙන් උදුරා නොදමන්නාක්) මෙන් පසමිතුරෝ මොහු නොමඩිත්.

’’මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නොගනිත්. රජවරු (මොහුට) අවමන් නොකරත්. සියළු පස මිතුරන් ජය ගන්නේය. සේතු දානයාගේ මේ විපාකයයි.

’’එලිමහනෙහි ගියේ නමුදු, දැඩි අව්වෙන් තැවුනේ නමුදු, එම සේතු දානමය පුණ්‍ය කර්‍මය හා යෙÃෙˆනු මොහුට (දුක්) වේදනාවෝ නොවන්නාහුය.

’’දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්ති යානයක් එකෙණෙහි ඔහුගේ අදහස් පරිදි පහළ වන්නේය.

’’වාත වේගයෙන් දුවන ශීඝ්‍ර වාහනවූ දහසක් සෛන්‍ධව අශ්වයෝ සවස හා උදෑසන තමා වෙත එළඹෙන්නාහුය.

’’මෙතෙම මිනිසත් බවට පැමිණ සැපවත් කෙනෙක් වන්නේය. මෙහි මිනිස්වූ කල්හිදු (ඔහුට) හස්ති යානයක් වන්නේය.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නාහ.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධ පුත්‍රවූ මෙතෙම, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය’’ (කියායි.)

’’පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරහි බුහුමන්කොට මම ආශ්‍රව ක්‍ෂය නම්වූ නිවණට පැමිණියේ වෙමි.

’’(කාය-ජීවිත නිරපෙක්‍ෂව) වීර්‍ය්‍ය කරණ ලදුයේ වෙමි. සන්හුන්වූයේ, උපධි රහිතවූයේ, ඇතකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධොතක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ධොතකත්ථෙරස්සාපදානං චතුත්ථං.