ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

41. මෙත්තෙය්‍ය වග්ග

5. උපසීව ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි අනොම නම් පර්‍වතයක් විය. මට එහි මැනවින් කරණ ලද අසපුවක් විය. මනාකොට කටයුතු කොට නිමවූ පන්සැලක්ද විය.

’’එහි මනාවූ කුඩා තොටුපලවල් ඇති මනොඥවූ නදියක් ගලා බසී. එම කුඩා තොටුපලවලට නුදුරෙහි බොහෝ පද්මොත්පලයෝ හටගනිත්.

’’පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ) ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු) ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ) ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු) ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු) යන මස් කැසුබුවන්ගෙන් ගැවසීගත්තාවූ නදිය හැම කල්හි ගලා බසී.

’’එහි තිමිරය, අසොකය, ඛුද්දවාලක (කුඩා මල් ඇති ගස්) ය, පුන්නාග (දොඹ) ය, ගිරිපුන්නාගය (කඳුවල සෑදෙන දොඹ)ය, යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු, මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.

’’එහි පිපී ගියාවූ කෙලිඳ වෘක්‍ෂයෝද, බෝලිද්ද වනයෝද, සාල වෘක්‍ෂයෝද, පිපී ගියාවූ සලල වෘක්‍ෂයෝද, චම්පක (සපු) වෘක්‍ෂයෝද එහි බොහෝ වෙති.

’’පිපීගියාවූ කුඹුක්ද, යොහොඹුද, උක්ගස්ද, (එසේම) පිපීගියාවූ පියාගස්ද, මධුගන්ධි වෘක්‍ෂයෝද යන මොවුහු මාගේ අසපුවෙහි බොහෝ වෙති.

’’මාගේ අසපුව හාත්පස අඩ යොදුනක් තන්හි ඇසළය, පලොල්ය, සීනිද්දය, පුවඟුය, රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් ගැවසීගත්තාහුය.

’’පිපුණාවූ මෘතඞ්ග නම් වෘක්‍ෂයෝද, සත් පෙති දෑසමන්ද, පළොල්ද, නිකද, රුකඟුනද, තාලකූට නම් වෘක්‍ෂයෝද එහි බොහෝ වූහ.

’’මාගේ ඒ අසපුවෙහි පිපුනාවූ හල්මල්ද බොහෝය. මේවා පිපෙන කල්හි වෘක්‍ෂයෝ බොහෝ ශෝභන වෙත්. එම සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.

’’අරළුය, නෙල්ලිය, අඹය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, බොරළුදැමුණුය යන මේ වෘක්‍ෂයන්ගේ ඵලද,

’’තිඹිරිය, පියල්ය, වැල්මීය, කාසුමාරිය, දෙල්ය, කොස්ය, කෙසෙල්ය, ඩෙබරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති.

’’ඇඹරැල්ලාය, මල්ලිකාරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති. ලප්නාරන්ය, ඝපාරිය යන මේ වෘක්‍ෂයෝද මාගේ අසපුවෙහි හටගත් ඵල ඇත්තාහු වෙත්.

’’ආලකය, ඉසිමුග්ග (වන මුං)ය, යලි මොදඵලය යන මොවුහු එහි බොහෝ වෙති. පුල්ලිය, දිඹුල්ය යන මේ වෘක්‍ෂයෝ හාත්පස පැසුණු ගෙඩිවලින් බරවූවාහුය.

’’පුලිලය, මිරිස්ය, නුගය, දිවුල්ය, දිඹුල් (අට්ටික්කා) කණ්ටපක්කය, පාරියය යන මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.

’’මෙම වෘක්‍ෂයෝද, මෙයින් පිටත් තවත් බොහෝ වෘක්‍ෂයෝද, මාගේ අසපුවෙහි ඵල හටගත්තාහු වෙති. මාගේ අසපුවෙහි බොහෝ මල් හටගන්නාවූ වෘක්‍ෂයෝද පිරී ගියාහු වෙත්.

’’ආළුවය, කලම්බය, බිලාලීය, තක්කලය, ආලකය, තාලකය යන අල වර්‍ගයෝද මාගේ අසපුවෙහි විද්‍යමාන වෙත්.

’’මාගේ අසපුවට නුදුරෙහි පැහැදි දිය ඇති, සිසිල් දිය ඇති, මනාවූ (කුඩා) තොටුපලවල් ඇති මනොඥවූ ජාතස්සරයක් හෙවත් ස්වයංජාත (තෙමේම හටගත්) විලක් විය.

’’සුදු නෙළුම් සහිත, රතු නෙළුම් සහිත හා උපුල් එහි බොහෝය. මදාරා ගස්වලික් වැසී ගිය (එම තඩාගය) නොයෙක් සුවඳ වහනය කරයි.

’’පද්මයෝ (කැකුළුවීමෙන්) ගැබ්ගනිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනාවූ පත්‍රයෝ සිටිත්. පද්ම කර්ණිකාවෝද බොහෝ වෙති.

’’නෙළඹලවලින් මීද, නෙළුඹු දැලිවලින් කිරි හා ගිතෙල්ද වැගිරේ. නොයෙක් සුගන්ධ වහනය වූවාහු හාත්පස එම සුවඳින් යුක්තය.

’’කුමුදු සුවඳද, අඹමල් සුවඳද පමුණුවන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල ලඟ ඉවුරෙහි ඒ අතට නැමුණු, පිපුණු වැටකෙයියා ගස් බොහෝය.

’’මැනවින් පිපුණු සුවඳවත් බඳුවදද, සෙතවාරී පුෂ්පයෝද එහි වෙති. කිඹුලෝද (සූ සූ හඬ නඟමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නාවූ) සුංසුමාරයෝද, ජලජ චණ්ඩ සත්ත්‍වයෝ එහි හටගනිති.

’’උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝද, පිඹුරෝද එම ජාතස්සරයෙහි බොහෝ වෙති. (එය) පෘඨිත (පෙටි)යෝද, පාවුස නම්වූ ලේල්ලුද, වලජ නම් වලයෝද, මුඤ්ජ නම්වූ මොද්දුද, රොහිත නම්වූ රෙහෙරුද යන මෙකී මස් කැසුබුවන්ගෙන් ගැවසි ගත්තේය. යලි, හුණුපුපුළන්ගෙන්ද, (එම විල) ගහණය. පරෙවියෝය, රවිහංසයෝය, කුකුත්‍ථක නම් පක්‍ෂීහුය, නදීවර නම් පක්‍ෂීහුය,

’’දින්‍දිභ නම් කිරළ පක්‍ෂීහුය, චක්කවාක නම්වූ සක්වා ලිහිණියෝය, චම්පක නම් පක්‍ෂීහුය, ජීව-ජීව යන අනුකරණයෙන් හඬන ජීව ජීවක පක්‍ෂීහුය, ලෙහෙනුන්ය, උක්කුස නම්වූ කබරුස්සෝය, සෙනක නම්වූ උකුස්සෝය, උඩර නම්වූ පක්‍ෂීහුය යන මොවුහු එහි බොහෝ වෙති.

’’කොඨක නම් පක්‍ෂීහුය, සුව (ගිරා) පෝතකයෝය, කකුළුවෝය, සෙමරුය යන මෙකී සත්‍වයෝද, එහි බොහෝ වෙති. කාරෙණිය, තිලකය යන මොවුහුද එම විල ඇසුරුකොට ජීවත් වෙත්.

’’සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, කොක්නහවෝද, කරබාන වලස්සුද, වඳුරෝද, කිඳුරෝද මාගේ අසපුවෙහි දෘශ්‍යමාන වෙත්.

’’මම එම සුවඳ ආඝ්‍රාණය කරමින් ඵල වර්‍ග බුදිමින්, සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.

’’එහි මෘගයෝද, හූරෝද, පසද මෘගයෝද, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝද, අග්ගිකජොතික නම් සත්ත්‍වයෝද මාගේ අසපුවෙහි වෙසෙත්.

’’හංසයෝද, කොස්වාලිහිණියෝද, මොණරුද, සැළලිහිණියෝද, කොවුලෝද, මඤ්ජරීක නම් සත්ත්‍වයෝද, බකමුහුණෝද, පොඨසීස නම් පක්‍ෂීහුද එහි බොහෝ වෙති.

’’පිශාචයෝද, අසුරයෝද, කුම්භාණ්ඩයෝද, රකුසෝද බොහෝ වෙති. (එසේම) ගුරුලෝද, සර්‍පයෝද, මාගේ අසපුවෙහි වෙසෙති.

’’මහත් ආනුභාව ඇති, සන්හුන් සිත් ඇති, එකඟවූ පැන් කෙණ්ඩි දරන්නාවූ, අඳුන් දිවි සම් උතුරු සළු කොට හඳින්නාවූ ඒ සියළු ඎෂීහු, දළමඬුලු බරින් යුතුවූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.

’’වියදඬු පමණ දුර බලන්නාවූ, ප්‍රාඥවූ, ශාන්ත පැවතුම් ඇති, ලාභ අලාභ දෙකින්ම සමසේ සතුටුවන්නාවූ (ඎෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.

’’වැහැරි සිවුරු කම්පා කරවමින්, අඳුන් දිවි සම් පොළොහරිමින්, ධ්‍යාන බලයන්ගෙන් ස්ථිරබවට පත් ඔවුහු හැමකල්හි අහසෙහි යෙත්.

’’ඔවුහු දිය හෝ, කෘෂ්ඨ හෝ, අග්නිදාරුන් හෝ ගෙන නොඑති. එම දිය ආදීහු තෙමේම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාකයයි.

’’ඔවුහු ලොහෝ භාජනයක් ගෙන කුඤ්ජර නම්වූ මහා හස්ති රාජයන් මෙන්ද, නිර්භීත කේශර සිංහයන් මෙන්ද වන මැදෙහි වෙසෙත්.

’’(මේ ඎෂීන්ගෙන්) ස්වකීය ධ්‍යාන බලයෙන් වසඟවූ ඇතැමෙක් පූර්‍වවිදෙහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. (ගොස්) ඒ ඒ තැනින් පිණ්ඩපාතය ගෙනවුත් (සියළුදෙනම) එකතුව හිඳ වළඳත්.

’’උග්‍රවූ තෙද ඇති, තාදී ගුණ ඇති, එසේ අහසින් යන්නාවූ සියළු ඎෂීන්ගේ අඳුන්දිවි සම් හඬින් එකල්හි වනය (එක පැහැර) හඬ නැඟුනාක් මෙන් වෙයි.

’’මහා වීරයන් වහන්ස, උග්‍ර තපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙසෙත්.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.

’’ස්වකීය (ධ්‍යානාදී) කටයුතුවල යෙදෙනු කැමති ස්වීය (ධ්‍යානාදී) කර්‍ම කරණකොටගෙනම (අනුන්ට තුටු කරවන ලද) සිල්වත්වූ, ප්‍රාඥවූ, (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ෂා යන) අප්‍රමාන්‍ය ධර්‍මයන් විෂයයෙහි දක්‍ෂවූ රැස්වූ මෙම ශිෂ්‍යයෝ මා සතුටු කළාහුය.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, විනායකවූ පදුමුත්තර බුදුරජතෙම (එය) සුදුසු කාලයයි දැන එතැනට එළඹිසේක.

’’එළඹ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුවූ, ප්‍රාඥවූ, මෞන ගුණ ඇති (එම) සර්‍වඥ තෙමේ පාත්‍රය ගෙන පිඬු පිණිස මා වෙත එළඹි සේක.

’’එසේ වැඩියාවූ පදුමුත්තර බුදුරජුන්(ට) වැඩහිඳීම සඳහා තණ ඇතිරියක් පණවා (එහි) සල්මල් විසිරවීමි.

’’සම්බුදු රජුන් එම (අසුනෙහි) වඩාහිඳුවා, ප්‍රීතියෙන් පිනාගියේ (එසේ) ප්‍රීතියෙන්ම, සැලෙන සිත් ඇත්තේ, මහා පර්‍වතයට නැගීමට අගිල් (රැස්කොට) ගතිමි.

’’කළගෙඩියක් පමණවූ දිව්‍යමය සුවඳ ඇති ඉදුනු කොස් ගෙඩියක්ද කරෙහි තබාගෙන බුදුරජුන් වෙත එළඹියෙමි.

’’මම බුදුරජුන්ට එම (කොස්) ගෙඩිය පිළිගන්වා අගිල්ද ආලේප කළෙමි. (එසේම)

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ඎෂීන් මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් මට මේ කොස් ගෙඩිද, අගිල්ද, ආසනයද දුන්නේ නම් හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

’’ගමෙහි හෝ, යලි අරණෙහි හෝ, ශෛල පර්‍වතයන්හි විවේකයට සුදුසු ස්ථාන නම්වූ පබ්භාරයන්හි (කඳු බෑවුම්වල) හෝ, ගුහාවන්හි හෝ, (වසන) මොහුගේ කැමැත්තට අනුව බොජුන් පහළවන්නේය.

’’මිනිස් තෙම දෙව්ලොව හෝ, මිනිස් ලොව උපන්නේ, භෝජනයන් කරණකොටගෙනද, වස්ත්‍රයන් කරණකොටගෙනද, පිරිස තෘප්තිමත් කරන්නේය.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදී නම්, නොකැළඹුණු භෝග සම්පත් ඇත්තේව මෙම මිනිස් තෙම සසර සැරිසරන්නේය.

’’(මෙතෙම) කප් තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.

’’එක් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යයන් (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුළයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේය.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධ පුත්‍රවූ (මේ තෙම) සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වසන්නේය’’ කියායි.

’’(එසේ කියන ලද්දේ) යමෙක් පිළිබඳව නම් ඒ මම ලෝක නායකයන් වහන්සේ දුටිමි. මා විසින් මැනවින් ලබන ලදී. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

’’ගමෙහි හෝ, යලි අරණෙහි හෝ ශෛල පර්‍වතයන්හි විවේකයට සුදුසු ස්ථාන නම්වූ පබ්හාරයන්හි හෝ, ගුහාවන්හි හෝ, (වසන) මාගේ කැමැත්තට අනුව හැමකල්හි මට බොජුන් පහළවේ.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසීව තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උපසීවත්ථෙරස්සාපදානං පඤ්චමං.