ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

41. මෙත්තෙය්‍ය වග්ග

6. නන්‍දක ථෙරාපදානය

’’පෙර මම මහ වෙනෙහි වැද්දෙක් වීමි. පසඳ මෘගයෙකු සොයන්නේ (එහිදී) සියල්ල තෙමේම දත් බුදුරජුන් දිටිමි.

’’පස් මරුන් දිනූ, සියල්ල තෙමේම දත්, ප්‍රාඥවූ අනුරුද්ධ නම් එම සර්‍වඥ තෙම විවේක සැප කැමැත්තේ වනයට පිවිසියේ වේ.

’’මම (දඬු සතරක් එක්කොට කෙළවරකින් බැඳ සාදාගත්) චතු දණ්ඩය ගෙන, දඬු සතර තැනක පිහිටන සේ (දිගහැර) තැබීමි. (එසේ තබා) මැනවින් මඩුවක් කොට නෙළුම් මල්වලින් වැසීමි.

’’(එසේ) මඩුව (නෙළුමින්) වසා බුදුරජුන්හට වැන්දෙමි. දුන්න එහෙම තබා අනගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි.

’’පැවිදිවී නොබෝ කලකින් මට රෝගයක් ඇතිවිය. පූර්ව කර්මය ගැන සිහිපත් කොට මම එහි කළුරිය කෙළෙමි.

’’(ඒ පසේ බුදුරජුන්හට කුටිය පිදීමේ) පූර්ව කර්‍මය හා යෙදුනේ, මම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන් මුවා විමනක් පහළවේ.

’’අධිෂ්ඨාන කරණ ලද්දාවූ මම දහසක් හසුන් යෙදූ ඒ දිව්‍යමය යානයට නැගී කැමති තැනකට යෙමි.

’’එම යානයෙන් ගෙන යනු ලබන්නාවූ දෙවිවූ මාගේ හාත්පස යොදුන් සියයක් තන්හි මට මණ්ඩපයක් දරයි.

’’මම අතිශයින් මල් අතුරණ ලද යහනෙහි නිදමි. නිරතුරුවම අහසිනුදු නෙළුම් මල් වැසි වසී.

’’මිරිඟු දිය සැලෙන, අව් පහරන කල්හිදු (එම) අව්ව මා නොතවයි. මණ්ඩප දානයාගේ මේ විපාකයයි.

’’දුගතිය ඉක්මවූයේ වෙමි. මට අපායයෝ වසන ලද්දාහු වෙති. මණ්ඩපයෙහි හෝ, වෘක්‍ෂ මූලයෙහි හෝ හුන්නාවූ මට සන්තාපයක් නොවේ.

’’පෘථිවි සංඥාවෙන් ඉටා (පොළොව සේ වීමට අදිටන් කොට) මම සයුර තරණය කරමි. ඒ මා විසින් මැනවින් කරණ ලද කර්‍ම ඵලයයි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’නොමගද මගකොට අහසෙහි යෙමි. මා විසින් මනාකොට කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයයි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’පෙර විසූ කඳ පිළිවෙල දනිමි. දිවැස පිරිසිදු කරණ ලදී. මාගේ ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’පෙර ජාතීහු අතහැර දමන ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්‍ධර්‍මයෙහි දායාදී (උරුමය ඇත්තෙක්) වෙමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජුන් ආරාධනය (සතුටු) කෙළෙමි. ධර්‍මයට ධජයක් වූයේ, ධර්‍මයට දායාදීද වෙමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’ශාක්‍ය කුල තිලකවූ ගෞතම බුදුරජුන් වෙත එළඹ සිට (එම) බුදුරජුන්ගෙන් නිවන් මග විචාළෙමි.

’’(මා විසින්) ආරාධනය කරණ ලද බුදුරජතෙම ගැඹුරුවූ, සියුම්වූ ඒ නිර්‍වාන පදය වදාළ සේක. මම උන්වහන්සේගේ (ඒ) ධර්‍මය අසා ආශ්‍රවක්‍ෂය නම්වූ නිවනට පැමිණියෙමි.

’’මා විසින් මැනවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනේ වෙමි. ක්‍ෂය කළ සියළු ආශ්‍රවයන් ඇත්තේ වෙමි. දැන් නැවත ඉපදීමක් නැත.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නන්‍දක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නන්දකත්ථෙරස්සාපදානං ඡට්ඨං.