ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
41. මෙත්තෙය්‍ය වග්ග
7. හේමක ථෙරාපදානය
’’එකල්හි අනෝම නම් තවුසෙක් තෙම ශෛල පර්‍වතයෙක්හි විවේකයට සුදුසු ස්ථානයක්වූ පබ්භාරයක් ඇසුරුකොට මනා අසපුවක් කොට එම පන්සැලෙහි විසීය.
’’ඔහුගේ තපොකර්‍මය සිද්‍ධිප්‍රාප්තය. (එසේම හෙතෙම) ස්වකීය ධ්‍යාන බලයෙහිද සිද්‍ධිප්‍රාප්තය. ස්වීය ශ්‍රාමාණ්‍ය ගුණයෙන් මැඩපවත්වන ලද කෙළෙස් ඇත්තෙක. කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඎෂිවරයෙක.
’’විශාරදයෙක. ස්වසමය පරසමයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට කෙණෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
’’එකල්හි පහවූ ශෝක ඇති, නිරාරම්භකවූ, ස්වල්පාහාරයකින් යැපෙන, ලොල් බැව් නැති, ලාභාලාභ දෙක්හි (සමව) සතුටුවන, ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇළුනාවූ, මෞන ගුණ යුතු,
’’සර්‍වඥවූ, අග්‍ර කාරුණීකවූ පියදස්සී නම් ඒ බුදුරජතෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ මහා කරුණාව පැතිරවීය.
’’පියදස්සී බුදුරජතෙමේ ධර්‍මාවබෝධයෙහි සමත් කෙනෙකු දැක සක්වලවල් දහසකට වුවද ගොස් (විනෙය්‍ය ජනයනට) අවවාද කරයි.
’’ඒ බුදුරජතෙම මා සසර සයුරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩිසේක. මා විසින් ඊට පෙර බුදුරජතෙම නොදක්නා ලදී. කිසිවෙකුගෙන් (උන්වහන්සේ ගැන) නොඅසන ලද්දේ වෙමි.
’’මම උන්වහන්සේ ගැන උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් පවසන ලදහ. මම පොළොවෙහි හා අහසෙහි පතළාවූ කෙනෙක් වෙමි.
’’නක්‍ෂත්‍ර පදයන්හිද දක්‍ෂ වෙමි. මම ඒ ශාස්ත්‍රයන්ගෙන් බුදුරජුන්ගේ (තොරතුරු) අසා එහි සිත පැහැදවීමි. අනුභව කරමින්ද, හිඳිමින්ද නිතරම (ඒ පිළිබඳව) සිහි කරමි.
’’මෙසේ මා සිතන කල්හි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නාවූ මට එකෙනෙහි ප්‍රීතිය ඇතිවිය.
’’නැවත සුදුසු කාලය එළඹ බුදුරජතෙම මා සමීපයට වැඩි සේක. (එසේ) පැමිණි කල්හිදු මේ මහාමුනිවූ බුදුරජතෙමේයයි නොදනිමි.
’’(සත්ත්‍ව ලෝකයට) අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ පියදස්සී බුදුරජතෙම මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැයි තෙමේම දැන්වූහ.
’’මහාමුනිවූ පියදස්සී බුදුරජුන්යයි හැඳින සිය සිත පහදවා මෙම වචනය කීමි.
’’අන්‍යයෝ පුටුවෙහිද, පළඟෙහිද, දික් සඟලා පුටුවෙහිද හිඳිත්. සියල්ල දක්නාවූ බුදුරජාණන් වහන්ස, (ඔබද) රුවන් හසුනෙහි හිඳිනු මැනව.
’’(මෙසේ කියා) එකෙනෙහි සර්වරත්නමය පුටුවක් මවා ඎද්‍ධියෙක් නිර්මිතවූ එම පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
’’ඎද්‍ධියෙන් නිර්මිත කරණ ලද රුවන් පුටුවෙහි වැඩහුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණවූ ජම්බු ඵලයක් දුනිමි.
’’බුදුරජතෙම මාගේ සතුට උපදවමින් (එය) වැළÃ කල්හි සිත පහදවා ශාස්තෘන් වහන්සේ වැන්දෙමි.
’’ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, රුවන් හසුනෙහි වැඩහුන් පියදස්සී භාග්‍යවත් තෙමේ මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් මට රුවන් මුවා පුටුවක්ද, අමා වැනි (දඹ) ඵලයක්ද, දුන්නේ නම් හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’(මෙතෙම) සත් සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. සත් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.
’’දෙවෙන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. (කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
’’රන්මුවාවූද, රිදීමුවාවූද, පියුම රා මිණිමුවාවූද, රුවන්මුවාවූද මැනවින් කළ බොහෝ පර්‍ය්‍යඞ්ක ලබන්නේය.
’’පුණ්‍ය කර්‍මය සහ යෙදුනාවූ සක්මන් කරන්නාවූ මේ මනුෂ්‍යයා එකල්හි බොහෝ පර්‍ය්‍යඞ්කයෝ පිරිවරත්.
’’කූටාගාරයෝද, ප්‍රාසාදයෝද, මාහැඟි සයනාසනද මොහුගේ සිත දැනගෙන මෙන් එකෙණෙහි පහළ වෙත්.
ඇතුන්ගේ පා විදිනා තොමර හා අකුසු (හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද සියළු අලංකාරයන්ගෙන් සරසන ලද සැට දහසක් ඇත්තුද, හෙම් වැනි වත් ඇඳවූ රන්පොරොදු බැඳි ඇත්තුද මොහු පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
’’අවිගත් අත් ඇති, සන්නාහ සන්නද්‍ධවූ, ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගන ලද, ජන්මයෙන්ම ආජානීයවූ, ශීඝ්‍රවාහී සෛන්‍ධවවූ සැටදහසක් අශ්වයෝද මොහු නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
’’දුනුගත් අත් ඇති, සන්නාහසන්නද්‍ධවූ ග්‍රාමණීන් විසින් නහින ලද ඔසවන ලද ධජ ඇති, සන්නද්‍ධවූ දිවිසමින් වළඳන ලද රථද, ව්‍යාඝ්‍ර සමින් වළඳන ලද රථදැයි මෙසේ සැට දහසක් රථයෝ මා නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
’’දෙවීමට සුදුසුවූ සැට දහසක් ධෙනූහු අතිශ්‍රෙෂ්ඨවූ වස්සන් උපදවත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
’’මැනවින් අලංකාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු, නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
’’මින් අටලොස් සියවන කපෙහි පසැස් ඇත්තාවූ ගෞතම බුදුරජතෙමේ ඝනාන්‍ධකාරය නසා ලොව පහළ වන්නාහ.
’’උන්වහන්සේගේ දර්‍ශනය නිසා ආකිඤ්චනව හෙවත් ධන රැස්කිරීම් නොමැතිව පැවිදි වන්නේය. ශාස්තෲන් වහන්සේ තුටුකොට සසුනෙහි සිත් අලවා වසන්නේය.
උන්වහන්සේගේ ධර්‍මය අසා කෙළෙස් නසන්නේය. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය’’ කියායි.
’’යොගක්‍ෂෙම නම්වු නිවන දක්වාම මා උසුලාගෙන යන මාගේ ධුරවාහක ගවයා වීර්‍ය්‍යයයි. මම උත්තමාර්ත්‍ථයවූ නිවන පතන්නේ සසුනෙහි වෙසෙමි.
’’මේ මාගේ අවසානයයි. අන්තිම භවය මේ පවතී. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් හේමක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
හෙමකත්ථෙරස්සාපදානං සත්තමං.
සත්තරසමං භාණවාරං.