ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

41. මෙත්තෙය්‍ය වග්ග

8. තොදෙය්‍ය ථෙරාපදානය

’’කෙතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රම සම්පන්නය. එකල්හි හේ (එම කේතුමතී) පුරයෙහි අධිපතිව විසීය.

’’ප්‍රමාදවූ එම රජුගේ (දුර්‍වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝද, මුඛරයෝද, එකල්හි රට නැසූහ.

’’රජතෙම ප්‍රත්‍යන්තය කුපිතවූ කල්හි භටයන්ද, බලසෙනගද එකල්හි වහා රැස්කරවීය. සතුරාට නිග්‍රහද කළේය.

’’හස්ත්‍යාරෝහකයෝද, ආරක්‍ෂකයෝද, චර්‍මයෝදීහුද, උග්‍රවූ ධනුර්‍ධරයෝද, යන සියල්ලෝද එකල්හි රැස්වූහ.

’’අරක්කැමියෝද, කරනැවෑමියෝද, දියවඩන්නෝද, මල්කරුවෝද, ශූරවූ සංග්‍රාම ඇති සියල්ලෝ එකල්හි රැස්වූහ.

’’එකල්හි කඩු ගත් අත් ඇති පුරුෂයෝද, දුනු ගත් අත් ඇත්තෝද, සන්නාහ සන්නද්‍ධයෝද, රෞද්‍රවූ වැද්දෝද යන සංග්‍රාම දිනූ වීරයෝ සියළු දෙනම රැස්වූහ.

’’බඳින ලද රන් පොරොදුවලින් අලංකාර කරණ ලද්දාවූ ත්‍රීමද ගලන ඇත්තුද, සැට වයස් ඉක්ම ගිය පිරිහෙන බල ඇති ඇත්තුද යන මේ සියල්ලෝ එකල්හි රැස්වූහ.

’’ශීතෝෂ්ණයෙන් ඉවසන, යුද බිමට ආලෝකය දෙන්නාක් වැනිවූ. යුද කිරීමට ආජීවය කොට ඇති, කරණ ලද කටයුතු ඇති සියල්ලෝ එහි රැස්වූහ.

’’සක්හඬද, බෙර හඬද, තවත් (නොයෙක්) කම්පා කරන්නාවූ ශබ්දද යන මොවුන්ගෙන් සියල්ලන් සතුටු කරවමින් ඔවුහු එකල්හි රැස්වූහ.

’’ත්‍රිශූලය, කොන්තය, මන්ත්‍රය යන මොවුන්ගෙන්ද, කවචයන්ගෙන්ද හා තෝමරයන්ගෙන්ද කොටනු ලබන්නන් හෙළමින් සියල්ලෝ එකල්හි රැස්වූහ.

’’ජයගත නොහැකි යුද්‍ධයක් දිනූ එම රජතෙම කෙසේ හෝ එය නිමවා එකල්හි සැටදහසක් ප්‍රාණීන් හුළෙහි තැති ගන්වීය. (තැබවිය.)

’’අහෝ රජතෙම, අධාර්මිකය. නිරයෙහි පැසෙන්නාවූ ඔහුගේ (එම දුකෙහි) අවසානය කවදා වන්නේදැයි මනුෂ්‍යයෝ ශබ්ද කළාහුය.

’’එකල්හි මම සයනයෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සයනය කරමි. දිවා රෑ දෙක්හි නොදනිමි. මා හුලින් (හුල තබන අයුරින්) තැතිගන්වත්.

’’ප්‍රමාදවූ රාජ්‍යයෙන්ද, වාහනයෙන්ද, බලයෙන්ද කවර ප්‍රයෝජනද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වලක්වා) දරන්නට නොපොහොසත් වෙත්. හැම කල්හි මා තැතිගන්වත්.

’’පුත්‍රයන්ගෙන් හෝ, අඹුවන්ගෙන් හෝ, සකල රාජ්‍යයෙන් හෝ මට ඇති ප්‍රයෝජන කිම? මම සුගති මාර්‍ගය පිරිසිදු කිරීම සඳහා පැවිදි වන්නෙම් නම් ඉතා මැනවයි සිතීය.

’’ඇතුන්ගේ පා විදිනා තොමර හා අකුසු (හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, සියළු අලඞ්කාරයන්ගෙන් සරසන ලද, සැට දහසක් ඇත්තුද, හෙමවත් ඇඳ, රන් පොරොදු බැඳි සංග්‍රාමවචර ඇතුන්ද, එතැන්හිම අපෙක්‍ෂා රහිතව මම අතහැර දැමීමි. ස්වකීය (මිනිසුන් හුල තැබීමේ) පාප කර්‍මයෙන් තැති ගත්තේ, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි (පැවිදිවිමට) නික්ම ගියෙමි.

’’අහුගත් අත් ඇති, සන්නාහ සන්නද්‍ධවූ ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, ජන්මයෙන්ම ආ ආජාණීයවූ, ශීඝ්‍රවාහී සෛන්‍ධවවූ සැටදහසක් අශ්වයෝ වෙත් නම් ඒ සියල්ලද හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි (පැවිදිවිමට) නික්ම ගියෙමි.

’’ඔසවන ලද ධජ ඇති, සන්නද්‍ධවූ දිවිසමින් වළඳන ලද රථද, ව්‍යාඝ්‍ර සමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ වූවාහුද, ඒ සියල්ල හැරදමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’කිරි වැගිරෙන බැවින් නිතරම (බුරුළුවල) ලොහෝ බඳුන් දරන සියළු සැට දහසක් දෙන්නු වෙත්ද, එම දෙන්නු හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි

’’මැනවින් අලංකාර කරණ ලද සැට දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු, (වෙත්ද?) ඒ සියළු ස්ත්‍රීන් හඬවමින් අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’සියල්ලෙන් සම්පූර්‍ණවූ සැටදහසක් ගම්ද, එම රාජ්‍යයද හැරදමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.

’’මම නගරයෙන් නික්ම හිමවතට එළඹියෙමි. භාගීරථී ඉවුරෙහි අසපුවක් කෙළෙමි.

’’මම පන්සැලක්ද කොට, ගිනිහල් ගෙයක්ද කෙළෙමි. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ (කාය ජීවිත නිරපෙක්‍ෂව) අතහැර දැමූ ආත්ම ඇත්තේ මම (එම) අසපුවෙහි වෙසෙමි.

’’මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ, හිස් ගෙයක හෝ ධ්‍යාන කරන්නාවූ මට තැති ගැනීමක් නැත. භය ජනක අරමුනක් නොදකිමි.

’’අග්‍ර කාරුණීකවූ, මොනෙය්‍ය ගුණ යුත්, සුමේධ නම් සර්‍වඥ තෙමේ ඤාණාලෝකය බබුළුවමින් එකෙනෙහි ලොව පහළවිය.

’’මගේ අසපුව හාත්පස මහා ඎද්‍ධි ඇති යක්‍ෂයෙක් විය. (හෙතෙම) බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ලොව පහළවූ එකල්හි මට (එය) දැන්වීය. (කෙසේද යත්?)

’’සුමේධ නම්වූ, පසැස් ඇති බුදුරජතෙම ලොව පහළවිය. හෙතෙම සියළු ජන සමූහයා සසර සයුරින් එතර කරති. ඔබද එතර කරන්නාහ’’ (කියායි.)

’යක්‍ෂයාගේ වචනය අසා එකෙනෙහි (ප්‍රීතියෙන්) සැළුනේ වෙමි. ’’බුදුරජය, බුදුරජය’’ යි සිතමින් අසපුව පිළියෙළ කෙළෙමි.

’’ගින්දර බැහැරකොට, ඇතිරිලි පිළියෙළකොට තබා අසපුවට වැඳ මම මහ වනයෙන් නික්මීමි.

’’එම වනයෙන් සඳුන් ගෙන, ගමින් ගමටද, නගරයෙන් නගරයටද, විනායකවූ බුදුරජුන් සොයමින් (උන්වහන්සේ වෙත) ගියෙමි.

’’එසමයෙහි ලෝකනායකවූ සුමේධ භාග්‍යවත් තෙමේ චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ ජන සමුහයාට ධර්‍මාවබෝධය කරවති.

’’මම ඇඳිලි බැඳ, හිසෙහි සඳුන් තබාගෙන සම්බුදු රජුන් වැඳ, මෙම ගාථාවන් කීමි.

’’දෑසමන් පිපෙන කල්හි සමීපයෙහි (අවට) සුවඳ හමයි. එසේම, වීරයන් වහන්ස, ඔබගේ ගුණ සුවඳින් සියළු දිගුන් හමායයි.

’’සපු, නා, කෝඹු, වැටකේ, සල් යන මෙකී මල් පිපෙන කල්හි සුලඟට අනුව (සුලං හමන අතට) හමා යයි.

’’(එසේම) ඔබවහන්සේගේ (ගුණ) සුවඳ අසා හිමවතෙහි සිට (මෙහි) ආමි. ලෝක ජ්‍යෙෂ්ඨයානන් වහන්ස, මහත් යසස් ඇත්තාණන් වහන්ස, මහා වීරයාණන් වහන්ස, ඔබ වහන්සේ පුදමි.

’’සුමේධ ලෝක නායකයාණන් උතුම් සඳුනෙන් ආලේප කෙළෙමි. එකෙණෙහි සිය සිත පහදවා නිශ්ශබ්දව සිටියේය.

’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් මාගේ ගුණ කීර්‍තනය කළේද, සඳුනෙන් පිදීද, හේ කවරෙක්දැයි මම ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.

’’(මෙතෙම) සියල්ලන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ, ශ්‍රේෂ්ඨවූයේ, ඎජු, ප්‍රතාපවත්වූයේ වේ. පස්විසි කපක් මුළුල්ලෙහි ප්‍රභා සහිත කෙනෙක් වන්නේය.

’’කප් සවිසි සියයක් හෙවත් දෙදහස් හසිය කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.

’’ශක්‍ර දේවේන්‍ද්‍රව දෙතිස් වරක් රාජ්‍යය කරන්නේය. (කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’ඉන් චුතවූයේ මේ මිනිස් තෙමේ මිනිසත් බවට යන්නේ නම් (මෙම) පුණ්‍ය කර්‍මය හා යෙදුනේ, බ්‍රාහ්මණයෙක් වන්නේය. (කෙබඳු බ්‍රාහ්මණයෙක්ද යත්?)

’’වෙද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ, ලක්‍ෂණත්‍රයකින් යුක්තවූ බාවාරි නම් බමුණෙකි.

’’එම බාවාරී බමුණාගේ ශිෂ්‍යයෙක්ව, මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගියේ, ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජුන් වෙත එළඹ,

’’තියුණු ප්‍රශ්න විචාරා, මාර්‍ගය වඩා, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය’’ (කියායි.)

’’මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තොදෙය්‍ය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තොදෙය්‍යත්ථෙරස්සාපදානං අට්ඨමං.