ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

41. මෙත්තෙය්‍ය වග්ග

9. ඡතු කණ්ණික ථෙරාපදානය

’’මම හංසවතී නගරයෙහි සිටු පුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියළු) කාම ගුණයන්හි යෙදුනේ පිරිවර සහතව වසමි.

’’ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාද තුණක්) ගොඩනැගූහ. (එම) තුන් පහයට නැගී එහි මම නෘත්‍යයන්ගෙන්ද, ගීතයන්ගෙන්ද යුතුව එකල්හි පිරිස් සහිතව වෙසෙමි.

’’මට කුළු තාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ ගසන ලදහ. සියළු ස්ත්‍රීහු නටන්නාවූ මාගේ සිත පැහැරගනිත්මය.

’’පිලිහිස සිසාරන්නියෝද, මිටි අය මෙන් නටන්නියෝද, සිහදෙනෙකු මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නියෝද, උඩට මතුවෙමින් නටන්නියෝද, ශෝකීව සිතන්නවුන් මෙන් නටන්නියෝද, හැම කල්හි මා පිරිවරත්.

’’වන්‍දිභට්ටයෝද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්‍ය්‍ය විශේෂය වයන්නෝද, යන මෙකී නළු නිලියෝ බොහෝ වෙති. මෙම නළු නිලියෝ හැම කල්හි මා පිරිවරත්.

’’කරණැවෑමියෝද, දියවඩන්නෝද, අරක්කැමියෝද, මල්කරුවෝද, මැනවින් පසැට කෙළින්නෝද, ජල්ල ක්‍රීඩකයෝද, මලල ක්‍රීඩකයෝද, යන මෙකී සියල්ලෝම හැම කල්හිම මා පිරිවරත්.

’’(ශිල්පයන්හි) හික්මුනාවූ, පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නොදනිමි.

’’දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නෝද, මගියෝද, යාචකයෝද, (තැනක් නියමයක් නොමැතිව) ඇවිදින්නෝද යන බොහෝවූ මොවුහු නිතර ඉල්වමින් මාගේ ගෙට පැමිණෙත්.

’’නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ ශ්‍රමණයෝද, බ්‍රාහ්මණයෝද, මාගේ පිණ වැඩි කරන්නාහු, මාගේ ගෘහයට පැමිණෙත්.

’’පටකස, ලටකය, පුප්ඵසාටකය, තෙදණ්ඩිකය, එකසිඛය, යන සියළු නිඝණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.

’’විලුත්තාචිය, ගොධම්මය, දෙවධම්මිකය, රජොජල්ලධරය යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.

’’පරිවත්තකය, සිද්‍ධිපත්තය යන තවුසෝද, කොණ්ඩය, පුග්ගණිකාය යන වනචාරීහුද මාගේ ගෘහයට බොහෝ පැමිණෙත්.

’’ඔඩ්ඩකය, දමිළය, සාකුළය, මලයාලකය, යබරය, යොනකය යන මොවුහු මාගේ ගෘහයට පැමිණෙත්.

’’අන්ධකයෝද, මුණ්ඩකයෝද, කොලකයෝද, සානුවින්‍දකයෝද, ආරාවචීන රාෂ්ට්‍රිකයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

’’අලඝන්‍දකයෝද, පල්ලවකයෝද, බබ්බරයෝද, භග්ගකාරුසයෝද, රෝහිතයෝද, චෙතපුත්තකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’මාධුරකයෝද, කොසලකයෝද, නාසිකයෝද, හස්ථිපොරකයෝද, ඉසිණ්ඩකයෝද, මක්කලයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’චෙලාවකයෝද, අරම්මයෝද, ඔක්කලයෝද, මෙඝලයෝද, ඛුද්දකයෝද, සුද්දකයෝද යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.

’’රෝහණයෝද, සින්ධවකයෝද, චිතකයෝද, එකකණ්ණිකයෝද, සුරට්ඨයෝද, අපරන්තයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’සුප්පාරකයෝද, කිකුමාරයෝද, මලයයෝද, සොණ්ණභූමිකයෝද, විජ්ජිතාරාවෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

’’(බටවලින් වැඩ කරණ) නළකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සම් වැඩ කරණ) චම්මකාරයෝද, (වඩු වැඩ කරණ) තච්ඡකයෝද, (කඹුරු වැඩ කරන) කම්මාරයෝද, (හැලි වලන් සාදන) කුම්භකාරයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’(මැණික් වැඩ කරන) මැණික්කාරයෝද, (ලොහෝ වැඩ කරන) ලෝහකාරයෝද, (රන් වැඩ කරන) සොණ්ණකාරයෝද, (රෙදි වැඩ කරන) දුස්සිකයෝද, (ඊයම් වැඩ කරන) තිපුකරයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

’’(ඊ වැඩ කරන) උසුකාරයෝද, (ලියන වඩු වැඩ කරන) භමකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්ධිකයෝද, (රෙදි සෝදන පොවන) රජකයෝද, (රෙදි මහන) තුණ්ණවායෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’(තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝද, (දර අදින) කට්ඨහාරයෝද, (ජලය අදින) උදහාරයෝද, (පණිවුඩ ගෙනයන) පෙස්සිකයෝද, (සූප සාදන) සූපිකයෝද, (සූප රකින) සූපරක්ඛයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’(දොරටුපාලකම් කරන) දොවාරිකයෝද, (බල ඇණියෙහිවූ) අණිකට්ඨයෝද, (තුති පැසසුම් කරන) වන්‍දිකයෝද, (ගැබ් මල හෝ පරමල් බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝද, (ඇතුන් පිට නගින) හත්‍ථාරුහයෝද, (ඇතුන් බලන) හත්‍ථපාලකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.

’’ප්‍රමාදීවූ ආනන්‍ද මහරජුට මම සත්රුවන් දුනිමි. මම (ඔහුගේ පවා) අඩු බැව් (අඩු පාඩු) පිරවීමි.

’’මා විසින් මැනවැයි පසසන ලද යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් තෘප්ත කෙළෙමි.

’’මිහිරි වදන් කියන කල්හි, බෙර වයන කල්හි, සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.

’’එසමයෙහි භාග්‍යවත්වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්‍ෂය කළ ආශ්‍රවයන් ඇති, රහත් භික්‍ෂූන් ලක්‍ෂයක් සමග වීථියට පිළිපන් සේක. පසැස් ඇති සර්‍වඥ තෙම සියළු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබලයි.

’’බුදුරජුන් වඩින කල්හි සියළු භෙරීහු වාදනය කෙරෙත්. උදාවූ හිරු මෙන් උන්වහන්සේගේ රැස් විහිදෙයි.

’’කවුළු අතරින් පිවිසි රැසින් ඇතුළු ගෙහිද එකෙනෙහි මහත්වූ ආලෝකයෙක් විය.

’’මම බුදුරජුන්ගේ රැස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේද යත්) ’’නිසැකව බුද්ධ ශ්‍රේෂ්ඨ තෙම මෙම වීථියට එළඹියේය’’ (කියායි.)

’’වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදුරජුන්ට මෙම වචනයද කීමි. (කෙබඳු වචනයක්ද යත්?)

’’පදුමුත්තර නම්වූ බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කරන සේකවා’’ යනුයි. එම බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග එම ආරාධනය පිළිගත්සේක.

’’සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩමවීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.

’’වළඳා අවසන්වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන, තාදී ගුණ ඇති එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කෙළෙමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ඇතුළු ගෙයි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේද, මට ආහාර පානයන් දුන්නේද, (හේ කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

’’රැස් කළ (සම්පත්) අනුභව කරන්නෙක්ව අමුරන් සහිතව, බොජුන් සහිතව, මේ මිනිස් තෙම සිව් මහ දිවයිනෙහි එකාතපත්‍රකොට රාජ්‍යය කරවන්නේය.

’’පන්සිල් සමාදන්ව, ඉක්බිති දශ කර්‍ම පථයන්ද සමාදන්ව පවත්වමින් පිරිස හික්මවන්නේය.

’’මැනවින් අලංකාර කරණ ලද ස්ත්‍රීහු මොහුට නිතර තූර්‍ය්‍යයන් ලක්‍ෂයක් වාදනය කරන්නාහුය.

’’කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. සූසැට වරක් දෙව්ලොව ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’සූසැට වරක් සක්විති රජ වන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.

’’(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදින්නේ නම් අනූනවූ භෝග සම්පත් ඇත්තේය. (යලි) මිනිසත් බවට පැමිණෙන්නේය.

’’වේද හදාරන්නේව, වේදත්‍රයෙහි පරතෙරෙට ගියේ උත්මාර්ත්‍ථයවූ (නිවන) සොයමින් මෙම පෘථිවියෙහි හැසිරෙන්නේය.

’’කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව, ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේය.

’’මෙතෙම ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් සතුටුකොට කෙළෙස් දවා රහත් වන්නේය.

’’මහ වනයෙහි ව්‍යාඝ්‍ර රාජයෙකු මෙන්ද, කෙශර සිංහ රාජයෙකු මෙන්ද, අද ශාක්‍යපුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.

’’දෙව්ලොව වුවද, මිනිස් ලොව වුවද, දිළිඳු බැව්හි හෝ, දුගතියක හෝ මාගේ ඉපදීමක් නොදකිමි. (බුදුරජුන්ට) උවටැන් කිරීමේ විපාකයයි.

’’සන්සුන් වූයේ, උපධි රහිත වූයේ, විවේකයෙහි යෙදුනේ වෙමි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වසමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡතු කණ්ණික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ජතුකණ්ණිත්ථෙරස්සාපදානං නවමං.