ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
41. මෙත්තෙය්‍ය වග්ග
10. උදෙන ථෙරාපදානය
’’හිමවතට නුදුරුව පදුම නම් පර්‍වතයක් විය. මට (එහි) අසපුවක් මැනවින් කරණ ලදී. පන්සලක්ද කොට නිමවන ලදී.
’’මනාවූ කුඩා තොටුපොලවල් ඇති, මනොඥවූ නදිහු එහි ගලා බසිත්. එම නදීහු හැම කල්හි පිරිසිදු දිය ඇත්තාහුය. (එසේම) සිහිල් දිය ඇත්තාහුය. සුන්දරවෙති.
’’පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු නදිය හොබවන්නාවූ හැම කල්හිම (එම) නදියෙහිම වසත්.
’’අඹ, දඹ රුක්වලින් වැසීගිය නදියද, එසේම කරෙරිය, තිලකය (මදයට)ය, උද්දාලක (ඇසළ)ය, පාටලී (පළොල්)ය යන මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවත්.
’’පිපීගිය අඞ්කොලක (රුකඟුණ)ය, බිම්බිජාලය, මායාකාරීය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් සුවඳින් (යුතු වාතය හමන්නාවු) මාගේ අසපුව හොබවත්.
’’මැනවින් පීගිය අතිමුත්ත (යොහොඹු)ය, සත්තලික (සත්පෙති දෑසමන්)ය, නාග (නා)ය, සාල (සල්)ය, යන මොවුහු දිව සුවඳ හමවමින් මාගේ අසපුව හොබවත්.
’’කොසම්බ (කොසඹ)ය, සල්ලය, නිප (කොළොම්)ය, අඨඞ්ගය යන වෘක්‍ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’අරළුය, නෙල්ලිය, අඹය, දඹය, බුළුය, ඩෙබරය, බදුළුය, බෙලිය යන මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
’’කළම්බ (කොලොම්), කන්‍දලී (බිම් කෙහෙල්) එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’අසෝක, පිණ්ඩිය, චවරීය, කොසඹය, යන මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’පුන්නාහ (දොඹ)ය, ගිරිපුන්නාහය, තිමිරය යන මේ වෘක්‍ෂයෝ එහි පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’කිග්ගුණ්ඩි (තික)ය, සිරිනිග්ගුණ්ඩි (සිරීනික)ය, සපුය යන මේ වෘක්‍ෂයෝ පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’අසපුවට නුදුරෙහි පොකුණකි. එම පුෂ්කරණී තොමෝ සක්වා ලිහිණියන් විසින් හඬනගන ලද්දීය. මන්‍දාලක පුෂ්පයන්ගෙන්ද, පියුම්, උපුල් මල්වලින්ද ගැවසී ගත්තීය.
’’පැහැදි දිය ඇත්තීය. සිසිල් ජලයද ඇත්තීය. මනාවූ කුඩා තොටු පොළවල් ඇත්තීය. මනරම් වූවාය. පළිඟු මෙන් පැහැදිලිය. (එබඳුවූ පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
’’එහි රන් පියුම්ද, හෙළ පියුම්ද, උපුල්ද (යන මේ පුෂ්පයෝ) පිපෙත්. මන්දාලක පුෂ්පයන්ගෙන්ද ගැවසි ගත්තීය. (එම පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
’’පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලජයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මුද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු එහි (පොකුණෙහි) හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
’’කුම්භිලයෝද, සුංසුමාරයෝද, යන චණ්ඩ ජලජ සත්ත්‍වයෝද, කැසුබුවෝද, ඔගුහ නම් සත්ත්‍වයෝද, අප්සරයෝද (පිඹුරෝ)ද, බොහෝ වෙති. ඔවුහු මාගේ අසපුව හොබවත්.
’’පරවියෝය, පරවි හංසයෝය, චක්‍රවාකයෝ (සක්වා ලිහිණියෝ)ය, නදීවරයෝය, දින්දිභයෝ (කීරළු)ය, සාළිකයෝය (සැලලිහිණියෝ)ය යන මොවුහු මෙහි මාගේ අසපුව හොබවත්.
’’නයිතාය, අම්බගන්ධීය, කෙතකි (වැටකේ)ය, යන මෙකී වෘක්‍ෂයෝ පිපීගියාහු එහි දිව සුවඳ මාගේ අසපුව හොබවත්.
’’සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කොක්නහවෝය, කරබානා වලස්සුය, යන මොවුහු මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
’’අඳු දිවිසම් හැඳි, ජටාහාරයෙන් බරවූ (තවුසෝ) මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
’’මේ තවුසෝ අඳුන් දිවි සම් දරන්නෝය. ප්‍රාඥයෝය. සන්හුන් පැවතුම් ඇත්තෝය. අල්පාහාර ඇත්තෝය. ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
’’එකල්හි ඔවුහු පිරිකර බර (කද) ගෙන වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නාහු, හැම කල්හි අසපුවෙහි වසත්.
’’ඔවුහු දර හෝ, පා දෝනා දිය හෝ ගෙන නොයෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒවා) තෙමේම ගෙන එයි. (පැමිණෙයි.)
’’අසූහාරදහසක් ඎෂීහු මෙහි රැස්වූහ. මේ සියල්ලෝම ධ්‍යාන කරන්නෝය. උත්තමාර්ත්‍ථයවූ විමුක්තිය සොයන්නෝය.
’’සියල්ලෝ තපස්වීහුය. බ්‍රහ්මචාරීහුය. අර්පණා ව්‍රතයෙහි (සිත) මෙහෙයවූවෝය. අහසෙහි හැසිරෙන්නෝය. එකල් (මොවුහු මාගේ) අසපුවෙහි වෙසෙත්.
’’පස් දිනකට වරක් එකඟවූ සන්හුන් පැවතුම් ඇති මොවුහු රැස්වෙති. (රැස්ව) ඔවුනොවුනට වැඳ, ඒ ඒ දිශාභිමුඛවූවාහු, යෙත්.
’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම, එකෙනෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළවූහ.
’’මාගේ අසපුව හාත්පස (සමීපයෙහි) මහා ඎද්‍ධි ඇති යක්‍ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් බුදුරජුන්හට ප්‍රශංසා කළේය. (කෙසේද යත්?)
’’නිදුකාණෙනි, මේ මහා මුනිවූ පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය. වහා ගොස් එම සම්බුදු රජුන් භජනය කරනු මැනව’’ (කියායි.)
’’එකල්හි යක්‍ෂයාගේ වචනය අසා, පැහැදි සිතින් අසපුව පිළියෙළකොට තබා මහවනයෙන් නික්මුනෙමි.
’’වස්ත්‍රය ගිනි ඇවිලගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම, සිව් සස් පවසමින් අමෘත පදය දේශනා කළ සේක.
’’මනාව පිපුණු පියුමක් ගෙන (බුදුරජුන් වෙත) එළඹ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහර්ෂීවූ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
’’(මෙසේ) පදුමුත්තර නම්වූ බුදුරජාණන් වහන්සේට පුදා ලෝකනායකවූ තථාගතයන්හට ස්තූති කෙළෙමි. (කෙසේදයත්?)
’’යම් සර්‍වඥතා ඥානයක් කරණකොටගෙන සම්බුදු රජතෙම ආශ්‍රව රහිතව මෙලෙව්හි වැඩ වෙසේද, එම ඤාණය කීර්‍තනය කරන්නෙමි. (එය) පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’(ඔබ) සසර සැඩ කපා සියළු ප්‍රාණීන් (සසර සයුරින්) එතර කෙරෙහිය. ඒ සත්ත්‍වයෝ ඔබ වහන්සේගේ ධර්‍මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.
’’විපදෝතතමවූ බුදුරජාණන් වහන්ස, ඔබ සත්ත්‍වයනට ශාස්තෘ වෙහිය. කොඩියක්ද, ධජයක්ද, යාග ස්ථම්භයක්ද වෙහිය. ආරක්‍ෂාවද, පිහිටද වෙහිය.
’’ලෙව්හි යම්තාක් ගණ ප්‍රධානීහු සාර්ත්‍ථවාහයෝයයි කියනු ලබත්ද, සර්‍වඥයන් වහන්ස, (ඔවුනට) ඔබ අග්‍ර වෙහිය. ඔවුහු ඔබ වහන්සේටම ඇතුළත් වෙත්.
’’සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොටගෙන බොහෝ දෙන (සසර සයුරින්) එතර කෙරෙහිය. ඔවුහු ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.
’’පසැස් ඇතියාණන් වහන්ස, ලෙව්හි යම්කිසි සුගන්ධ සමූහයක් හමත් නම් මහා මූනීන් වහන්ස, පින් කෙත්හිවූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳක් නැත.
’’පසැස් ඇතියාණන් වහන්ස, තිරිසන් ගතියද, නිරයද ඔබ දුරු කෙළෙහිය. මහා මුනීන් වහන්ස, ඔබ අසංස්කෘතවූ ශාන්ත පදය හෙවත් නිවන දේශනා කෙළෙහිය.’’ (කියායි.)
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් තෙම පහන්වූයේ, සියතින් මාගේ සර්‍වඥතා ඥානය පිදීද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’(මෙතෙම) කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය’’ (කියායි.)
’’(මම) මනා ව්‍රත ඇති බුදුරජුන් තුටුකොට උතුම් ලාභයක් ලැබුයේ වෙමි. සියලු ආශ්‍රවය (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන් ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදෙන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උදෙනත්ථෙරස්සාපදානං දසමං.
මෙත්තෙය්‍යවග්ගො එකචත්තාලීසමො.