ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

42. භද්දාලි වග්ග

1. භද්දාලි ථෙරාපදානය

’’මොනෙය්‍ය ගුණ යුත්, අග්‍ර කාරුණීකවූ, ලෝකාග්‍රවූ සුමේධ නම් සර්‍වඥ තෙමේ විවේක සුව කැමැත්තේ හිමවතට එළඹ ගියහ.

’’පුරුෂොත්තමවූ සුමේධ ලෝකනායක තෙම හිමවතට පිවිස පළඟක් බැඳ වැඩ හුන්නාහ.

’’ලෝකනායකවූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනාහ. පුරුෂොත්තමවූ සර්‍වඥතෙම රෑ දාවල් සතක් (සතියක්) (එසේම) වැඩ හුන්නාහ.

’’පිරිකර කද ගෙන මම වනයට පිවිසියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ සම්බුදු රජුන් දුටිමි.

’’මුස්න ගෙන අසපුව හැමද, චතු දණ්ඩය (එක් කෙළවරකින් එකට බැඳ සාදාගත් දඬු සතරක්) සිටුවා, එකල්හි මණ්ඩපයක් කෙළෙමි.

’’මම සල්මල් ගෙනවුත් මඩුව සෙවෙනි කෙළෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බුදුරජුන් වැන්දෙමි.

’’මහත්වූ ප්‍රඥාව ඇති, උතුම් නුවණැති යමෙකුට සුමේධයයි කියත්ද, ඒ සුමේධ බුදුරජතෙම භික්‍ෂු සංඝයා මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’එම බුදුරජුන්ගේ (සුමධුර) හඬයයි දැන, නිසැකවම පසැස් ඇති බුද්‍ධශ්‍රේෂ්ඨ තෙම දහම් දෙසායයි දෙවියෝ රැස්වූහ.

’’ලෝකයේ පූජාවන් පිළිගන්නාවූ සුමේධ නම් සර්‍වඥ තෙමේ දිව්‍ය සමූහයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් තෙම මට සල් මලින් සෙවෙනි කළ මඩුවක් සතියක් මුළුල්ලෙහි දැරීද, හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

’’මෙතෙම දෙවිවූයේ, ස්වර්‍ණ වර්‍ණ වන්නේය. සපිරුණු භෝග සම්පත් ඇත්තේ වී, කම්සුව අනුභව කරන්නෙක් වන්නේය.

’’ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු (හෙන්ඩු) ගත් අත් ඇති, ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, සියළු ආභරණයන්ගෙන් සරසන ලද සැට දහසක් ඇත්තුද, හෙම් වැනි වත් හැඳවූ, රන් පොරොදු බැඳි ඇත්තුද මේ මනුෂ්‍යයාට උදේ සවස උවැටනට පැමිණෙන්නාහුය.

’’කයිසරඬු හා දුනු දරන්නාවූ ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, ජන්මයෙන් ආජානීයවූ, ශීඝ්‍රවාහී, සෛන්‍ධවවූ, සියළු අබරණින් සරසන ලද සැට දහසක් අශ්වයෝ මොහු නිතර පිරිවරත්. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’දුනු ගත් ඇත් ඇති, සන්නාහ සන්නද්‍ධවූ ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, ඔසවන ලද ධජ ඇති, සන්නද්‍ධවූ, දිවි සමින් වළඳන ලද රථද, ව්‍යාඝ්‍ර සමින් වළඳන ලද රථදැයි මෙසේ සර්‍වාලඞ්කාරයන්ගෙන් සරසන ලද සැට දහසක් රථයෝ මොහු නිතර පිරිවරන්නාහුය. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සර්‍වාකාරයෙන් සම්පූර්‍ණවූ, සමෘද්‍ධවූ ධන ධාන්‍ය ඇති, හැම අයුරින්ම මැනවින් සමෘද්‍ධවූ, සැට දහසක් ග්‍රාමයෝ, හැම කල්හි පහළවන්නාහුයි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනඟ මොහු නිතර පිරිවරත්. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’(මෙතෙම) අටලොස් සිය වන කපෙහි දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.

’’තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’(මින්) තිස් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නාහ.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්‍ධ පුත්‍රයෙක්ව, ආශ්‍රව රහිතව, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන වාසය කරන්නේය.

’’(මින්) කල්ප තිස් දහසකට පෙර ලෝකනායකවූ බුදුරජුන් දිටිමි. (එදින පටන් අද දක්වා) මේ අතුරෙහි අමෘත පදය (නිවන) සෙවීමි.

’’යම් (බුදු) සසුනක් මම දැනගතිම්ද, එය මට ලාභයකි. මා විසින් (එය) මනාකොට ලබන ලදී. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානයට පසසා අමෘත පදයට හෙවත් නිවනට පැමිණියේ වෙමි.

’’දෙවිවූ හෝ, මිනිස්වූ හෝ, යම් යම් භවයක උපදී නම් හැම තන්හි සුව ඇත්තේ වෙමි. මාගේ සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාකයයි.

’’මේ මාගේ පශ්චිම භවයයි. අවසන් භවය මේ පවතී. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භද්දාලි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භද්දාලිත්ථෙරස්සාපදානං පඨමං.