ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
2. එකඡත්තිය ථෙරාපදානය
’’චන්‍ද්‍රභාග නදී තීරයෙහි මට ආශ්‍රමයක් කරණ ලදී. (එහි) සුදෝ සුදු වැල්ලෙන් ගැවසීගත් පන්සැලක්ද නිර්මිත කරණ ලදී.
’’එහි නොගැඹුරු ඉවුරු ඇති, මනාවු කුඩා තොටුපල ඇති, මනොඥවූ මස් කැසුබුවන්ගෙන් යුත්, සූ සූ හඬ නංවමින් දිය බුබුළු උඩට නංවන සුංසුමාරයන් විසින් සෙව්නා ලද කුඩා නදියක් විය.
’’වලස්සුය, මොනරුය, දිවියෝය, කොවුලෝය, සැළලිහිණියෝය යන මොවුහු හැම කල්හි මාගේ අසපුව හොබවමින් ශබ්ද කෙරෙත්.
’’මිහිරි හඬ ඇති කොවුලෝද, මධුර ස්වර ඇති හංසයෝද, යන මොවුහු එහි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
’’සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, හූරෝද, වෘකයෝද, කොක්නගවෝද, කරබානා වලස්සුද මාගේ අසපුව හොබවමින් ගිරිදුර්‍ගයන්හි නාද කෙරෙත්.
’’එහි මෘගයෝද, සරභමාශයෝද, කැනහිල්ලුද, හූරෝද යන මොවුහු බොහෝ දෙන මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයන්හි නාද කෙරෙත්.
’’ඇසළය, සපුය, පළොල්ය, නිකය, සොහොඹුය, අසෝකය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි පිපෙත්.
’’රුකඟුණය, සීනිද්දය, සත්පෙති දෑසමන්ය, බිඹුදැල්ය, කණ්ණිකය, කිණිහිරිය යන මොවුහු මාගේ අසපුවෙහි පිපෙත්.
’’නාය, සල්ය, සලලුය, හෙළපියුම්ය යන මොවුහු මෙහි පිපියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’කුඹුක්ය, පීයාය, උක්ය, සල්ය, පුවඟුය යන මේ වෘක්‍ෂයෝ එහි පිපීගියාහු මාගේ අසපුව හොබවත්.
’’අඹය, දඹය, මදටය, කොසඹය, සල්කලණය යන මේ වෘක්‍ෂයෝ දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’හෝපළුද, ගිවුළුද, භගිනිමාලය යන මොවුහු පිපීගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’රෝපනය කරණ ලද කොළොම්ය, කෙසෙල්ය, එසේම, ඎෂිමුද්ග නම් ධාන්‍ය විශෙෂය යන මොවුහු මාගේ අසපුව හොබවමින් නිතර ඵල දරත්.
’’අරළුය, නෙල්ලිය, අඹය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුළුය, බෙලිය යන මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි ඵල දරත්.
’’(අසපුවට) නුදුරෙහි මනාවූ කුඩා තොටුපලවල් ඇති මනොඥවූ මන්දාලක පුෂ්පයන්ගෙන්ද, පියුම් හා උපුල්වලින්ද ගැවසීගත් පොකුණකි.
’’මාගේ අසපුවෙහි ඇතැම් පද්මයෝ කැකුළු හටගනිත්. ඇතැම් කෙසුරු සහිත පියුම් පිපෙත්. ඇතැම් දිග හැරුණු පත් ඇති පියුම් කර්ණිකාවෝද ප්‍රබෝධ වෙත්.
’’පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුසපනම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද යන මොවුහු පැහැදි දියෙහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
’’නයිතාය, අම්බගන්ධිය, කෙතකිය යන මෙකී වෘක්‍ෂයෝ වාතය හමන දෙසට අනුව දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
’’නෙලුඹලවලින්, නෙලුඹුදැලිවලින් කිරි හා ගිතෙල්ද වැගිරේ. දිවසුවඳ මීද හමවමින් මාගේ අසපුව හොබවත්.
’’එහි ජලයෙන් සෙව්නා ලද, ආකීර්ණවූ වැලිතලාවෝ ශොභනයහ. උඩට නැගුනු පුෂ්පයෝ පිපීගියාහු, මාගේ අසපුව හොබවමින් තිබෙත්.
’’අඳුන් දිවිසම් හැඳි, ජටාභාරයෙන් බරවූ, වැහැරි සිවුරු දරණ සියළු (තවුසෝ) මාගේ අසපුව හොබවත්.
’’වියදඬු පමණ දුර බලන්නාවූ, ප්‍රාඥවූ, සන්හුන් පැවතුම් ඇති, කම් සුව අනුභවයෙහි බලාපොරොත්තු නැති (මෙම තවුසෝ) මාගේ අසපුවෙහි වසත්.
’’වැසීගිය කිසිලි නිය ලොම් ඇති, මැලියම් සහිත දත් ඇති, ධූවිලි සහිත හිස් ඇති, රජස් දැලි වැකුණු (සිරුරු ඇති) මේ සියලු තවුසෝ මාගේ අසපුවෙහි වෙසෙත්.
’’අභිඥාවන්ගේ පරතෙරට පැමිණි, අහසෙහි හැසිරෙන්නාවූ ඒ මේ තවුසෝ අහසට නගිමින් මාගේ අසපුව හොබවත්.
’’එකල්හි (මම) එම ශිෂ්‍යයන් විසින් පිරිවරන ලදුයේ මහ වෙනෙහි වෙසෙමි. හැම කල්හි ධ්‍යානයට සමවැදුනේ රෑ දාවල් නොදනිමි.
’’එසමයෙහි ලෝකනායකවූ, භාග්‍යවත්වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ඝනාන්‍ධකාරය දුරුකරමින් (ලොව) පහළවිය.
’’ඉක්බිති එක්තරා ශිෂ්‍යයෙක් මාගේ සමීපයට පැමිණියේය. හෙතෙම මන්ත්‍රයන්ද, ෂඩඞ්ග හා ලක්‍ෂණයන්ද හදාරනු කැමැත්තේය.
’’මහාමුනිවූ අත්‍ථදස්සී බුදුරජතෙම ලොව පහළවිය. (උන්වහන්සේ) චතුස්සත්‍යය පවසමින් අමෘත පදයවූ නිවන දේශනා කරණ සේක.
’’(මම) තුටු පහටුවූයේ, ප්‍රමුදිතවූයේ, ධර්‍මය තුළ පිවිසි සිත් ඇත්තේ, අසපුවෙන් නික්ම මෙම වචනය කීමි.
’’දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් බුදුරජතෙම ලොව පහළවිය. සියල්ලෝ එව්. සම්බුදුරජුන් වෙත යන්නෙමුය කියායි.
’’සදහම්හි පරතෙරට ගිය, අවවාදයට අනුව කටයුතු කරණ, උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන ඔවුහු මැනවැයි (එම වචනය) පිළිගන්නාහුය.
’’ජටාබරින් බරවූ, අඳුන් දිවිසම් හඳින ඔවුහු උත්තමාර්ත්‍ථයවූ නිවන සොයමින් එකල්හි වනයෙන් නික්මුනාහුය.
’’එකල්හි මහත් යශස් ඇති අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ සිව් සස් පවසමින් අමෘතපදයවූ නිවන දේශනා කරණ සේක.
’’මම ස්වේතච්ඡත්‍රය ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි. එසේ සතියක් මුළුල්ලෙහි දරා සිට බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වැන්දෙමි.
’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රෙෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් තෙම පැහැදුනේ, සියතින් ඡත්‍රයක් දැරීද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ (භවයක) උපන්නාවූ මොහුට හැමකල්හි ඡත්‍රයක් දරන්නේය. ඡත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’(මෙතෙම) සත් සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.
’’සත් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
’’අටළොස් සියවන (එක් දහස් අටසිය වන) කපෙහි පසැස් ඇත්තාවූ, ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජ තෙමේ, ගනඳුරු නසමින් (ලොව) පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීව, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්‍ධ පුත්‍රයෙක්ව, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වසන්නේය’’ (කියායි.)
’’යම් තැනක පටන්කොට මම බුදු රජුන්හට ඡත්‍රයක් (කුඩයක්) දරමින් කුශලකර්‍මයක් කෙළෙම්ද (එතැන් පටන් අද දක්වාවූ) මේ අතරෙහි ස්වේතච්ඡත්‍ර නොදරණ ලද භවයක් නොදනිමි.
’’මේ මාගේ පශ්චිම භවයයි. අන්තිම භවය (මේ) පවතී. අද පවා (මග) හැමකල්හි පවත්නාවූ ඡත්‍ර ධාරණය (කුඩ දැරීම) පවතී.
’’තාදී ගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් මැනවින් කරණ ලද (ඒ ඡත්‍ර ධාරණ) කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. (මාගේ) සියළු ආශ්‍රවයන් ක්‍ෂය විය. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකඡත්තියත්ථෙරස්සාපදානං දුතියං.