ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
3. තීණසූලක ඡදනීය ථෙරාපදානය
’’මම එකල්හි ජාති, ජරා, මරණයන් පිළිබඳව සිහි කෙළෙමි. එක්ව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’පිළිවෙලින් හැසිරෙන්නේ, ගංතෙරට එළඹියෙමි. එහි ගංතෙරෙහි උඩට නැගී ගිය පොළොව දුටිමි.
’’මම එහි අසපුවක් සදාගන එම අසපුවෙහි වසමි. මැනවින් කරණ ලද මාගේ අසපුව නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්තය.
’’(එම පක්‍ෂීහු) විශ්වාස ඇත්තාහු, මා වෙත එළඹෙත්. මනහර ලෙස නාද ද කරත්. මම ඔවුන් සමග සිත් ඇලවුයේ අසපුවෙහි වෙසෙමි.
’’මාගේ අසපුව හාත්පස සිව් දිග නාදකොට ඒ මෘගරාජ (සිංහ) තෙම ඔහු වසන ගුහාවෙන් නික්ම, හෙන පුපුරන්නාක් මෙන් ගර්ජනා කෙළේය.
’’(එම) මෘගරාජයා (සිංහයා) ගර්ජනය කළ කල්හි මට ප්‍රීතිය ඇතිවිය. මම එම මෘග රාජයා සොයන්නේ, ලෝක නායකවූ බුදුරජුන් දුටිමි.
’’මම දේවාතිදේවවූ තිස්ස බුදුරජුන් දැක සතුටුවූයේ, සතුටු සිතින්ම නාග කෙශර (නාමල් රේණු) පිදීමි.
’’උදාවන හිරු වැනිවූ, පිපුනු උතුම් සල් රුකක් වැනිවූ, ලෝකනායකවූ බුදුරජහට ස්තූති කෙළෙමි.
’’සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ ඤානයෙන් මෙම දෙවියන් සහිත ලෝකයා (සසරින්) මිදුනේය. ඔබ වහන්සේ සතුටුකොටම (ඔවුහු) (මෙම) ජාති සංසාරයෙන් මිදෙත්.
’’සර්‍වදර්ශීවූ සර්‍වඥ බුදුරජුන්ගේ නොදැකීමෙන් රාග ද්වේෂයන්ගෙන් පැතිරීගිය (සත්ත්‍වයෝ) අවීචි නිරයෙහි වැටෙති.
’’සර්‍වඥයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සියල්ලෝ භවයෙන් මිදෙත්. අමෘත පදයවූ නිවන ස්පර්‍ශ කෙරෙත්.
’’යම් කාලයක් පසැස් ඇති ආලෝකවත්වූ බුදුවරයෝ ලොව උපදිත්ද, ඔවුහු කෙළෙස් දවා ආලෝකය දක්වත්.
’’මෙසේ ලෝකනායකවූ තිස්ස බුදුරජුන්හට ස්තූතිකොට, ස්තුතිවූයේ සතුටු සිතින්ම බෝලිද්ද (මල්) පිදීමි.
’’ලෝකනායකවූ තිස්ස බුදුරජතෙමේ මාගේ අදහස දැන, සිය අසුනෙහි වැඩහිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් තෙම පහන් සිතැත්තේ, සියතින්ම මා මල්වලින් වැසීද, මම ඒ කවරෙක්දැයි කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’හෙතෙම පස්විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. පන් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.
’’(කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි)ගණන් වශයෙන් ගිණිය නොහැකිය. (මෙය) පුෂ්ප පූජාවෙන් (ජනිතවූ) එම කර්‍මයාගේ ඵලයයි.
’’පුණ්‍ය කර්‍මය හා සහයෝගීවූ මේ පුරුෂ තෙමේ හිස පටන් ජල ස්නානය කළේ, ඉදින් මල් කැමතිවේ නම් (අදහස් පරිදි මල්) ඉදිරියෙහි පහළ වන්නේය.
’’කාම වස්තූන්ගෙන් යමක් යමක් කැමතිවේද, ඒ ඒ දැය පහළ වන්නේය. අදහස (නිවන් ලැබීම) සම්පුර්‍ණකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේද වන්නේය.
අටලොස්වෙනි බණවරයි.
’’කෙළෙස් දවා, සම්‍යක් ප්‍රඥවෙන් හා සිහියෙන් යුක්තවූයේ, එම හසුනෙහිම හිඳ, රහත් බවට පැමිණියෙමි.
’’මම හැම කල්හි සක්මන් කරමින්ද, නිදමින්ද, හිඳිමින්ද, යලි සිටිමින්ද, බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ ගැනම සිතා වසමි.
’’චීවර, පිණ්ඩපාත, (ගිලාන) ප්‍රත්‍යය, සයනාසන යන මේ සිව් පසෙහි අඩු බවක් නැත. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’ඒ (මම) දැන් අමෘතවූ, ශාන්තවූ, නිරුත්තර පදයවූ නිවනට පැමිණියේ (මෙම) සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් දෙයනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තීණසූලක ඡදනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිණසූලකඡාදනියත්ථෙරස්සාපදානං තතියං.