ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

42. භද්දාලි වග්ග

6. එකදීපිය ථෙරාපදානය

ලෝකනායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි සියළු දිව්‍ය මනුෂ්‍යයෝ (එම) බුදුරජුන්හට පූජා කෙරෙත්.

’’සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්ගේ ශ්‍රී දේහය චිතකයට නැගූ කල්හි (සියල්ලෝ) තම තමනට හැකි පමණින් ශාස්තෘන් වහන්සේගේ චිතකයට පුදත්.

’’මම (එම) චිතකයට පුදුරෙහි පහනක් දැලවීමි. මාගේ පහන හිරු උදාවනතුරුම දැල්වුනේය.

’’මම මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රනිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’එහි මට කරණ ලද (මැවුනු) විමානය එකදීපියයි කියනු ලැබේ. මාගේ විමනෙහි දසදහසක් ප්‍රදීපයෝ දැල්වෙත්.

’’හැම කල්හි මාගේ සිරුර උදාවන හිරු මෙන් බබලයි. මාගේ ශරීර ප්‍රභාවන් කරණකොටගෙන හැම කල්හි ආලෝකය වේ.

’’මම පවුරෙන් පිටද, ශෛල පර්‍වතයෙන් පිටද, පර්‍වතයද විනිවිද සියැසින් යොදුන් සියයක් දකිමි.

’’මම සත් සැත්තෑ වරක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි. එක් තිස් වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි.

’’මම අටසිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’දෙව්ලොවින් ච්‍යුතව මව් කුසෙහි ඉපදුනිමි. මව් කුසෙහි උපන්නාවූද මාගේ ඇස නොපියවේ. (ඇසිපිය නොවැටේ.)

’’උත්පත්තියෙන් සිව් වස්වූ මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (පැවිදිව) අඩමසක් පිරෙන්නට පෙර රහත් බවට පැමිණියෙමි.

’’දිවැස පිරිසිදු කෙළෙමි. සියළු භවයෝ නසන ලදහ. සියළු ක්ලේශයෝ සිඳින ලදහ. එක පහණක් පිදීමෙහි මේ විපාකයයි.

’’පව්රෙන් පිටද, ගල් පර්‍වතයෙන් පිටද, හුදු පර්‍වතයද විනිවිද දකිමි. එක පහණක් පිදීමෙහි මේ විපාකයයි.

’’මට විෂමස්ථානයෝ සමවෙති. අඳුරක් නොමැත. මම ඝනාන්‍ධකාරයක් නොදකිමි. එක පහණක් පිදීමෙහි මේ විපාකයයි.

’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් පහණක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ප්‍රදිප දානයාගේ මේ විපාකයයි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකදීපියත්ථෙරස්සාපදානං ඡට්ඨං.