ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
8. යාගුදායක ථෙරාපදානය
’’එකල්හි (මම) මාගේ මාර්‍ගොපකරණද ගෙන ගමකට ගියෙමි. පිරීගිය නදිය දැක, සංඝාරාමයකට එළඹියෙමි.
’’ආරණ්‍යකවූද, ධූතාඞ්ගධාරීවූද, ධ්‍යාන කරන්නාවූද, රූක්‍ෂ චීවර දරන්නාවූද, විවේකයෙහි ඇළුනු ඒ ප්‍රාඥයෝ සංඝාරාමයෙහි වසත්.
’’මැනවින් කෙළෙසුන්ගෙන් මිදුනාවූ, තාදී ගුණ ඇති ඔවුන්ගේ (සසර) ගමන (ඔවුන් විසින්) සිඳින ලදී. (දිය පිරෙමින්) ඇවිරුනු ගඟ ඇති බැවින් ඔවුහු පිඬු පිණිස නොයෙත්.
’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතිමත්වූයේ, බඳින ලද ඇඳිලි ඇත්තේ මාගේ මාර්‍ගොපකරණවලින් සහල් ටිකක් ගෙන කැඳ දනක් දුනිමි.
’’මම පහන් සිතැත්තේ සියතින්ම පස්නමකට කැඳ දන් දී, ස්වකීය කර්‍මය විසින් වළක්වන ලදුයේ හෙවත් (මැරුණේ) මම තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’(මට) තව්තිසා දෙව්ලොවෙහි මිණිමුවා විමණක් පහළවිය. (එම) උතුම් විමනෙහි දිව්‍ය ස්ත්‍රී සමූහයා සහිතව සතුටුවෙමි.
’’තෙතිස් වරක් දෙවෙන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. තිස්වරක් චක්‍රවර්ති මහා රාජ්‍යය කරවීමි.
’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. මම දෙව්ලොවෙහිද, මිනිස් ලොවෙහිද, යසස් අනුභවකොට,
’’පශ්චිම භවය පැමිණි කල්හි අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. මම හිසකේ බෑ කෙණෙහි සියල්ල අවබෝධ කෙළෙමි.
’’සිරුර ඛය වශයෙන් මෙනෙහි කරන්නේ, සික පද දීමට පෙරටුවම රහත්බවට පැමිණියෙමි.
’’මා විසින් උතුම් දනක් මැනවින් දෙන ලදී. වෙළඳාමක් මනා ලෙස යොදන ලදී. එම කැඳ දන කරනකොටගෙනම අචල පදයවූ නිවනට පැමිණියේ වෙමි.
’’උපන්නාවූ ශෝකයක් හෝ, පරිදේවයක් (වැළපීමක්) හෝ, ව්‍යාධියක් හෝ, ක්ලාන්තයක් හෝ, චිත්තසන්තාපයක් හෝ නොදනිමි. කැඳ දනෙහි මේ විපාකයයි.
’’නිරන්තර පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි සංඝයාට කැඳ දන්දී අනුසස් පසක් ලබමි. කැඳ දනක් මැනවින් දෙන ලදී. ආශ්චර්‍ය්‍යයකි.
’’මාගේ ලෙඩ නැති බව, රූමත් බව, වහා දහම් පිළිපදින බව, ආහාර (සුලභව) ලබන බව හා පස්වෙනි අනුසස දීර්ඝායුෂ්ක බවයි.
’’යමෙක් සතුට උපදවමින් සංඝයා කෙරෙහි කැඳ දෙන්නේ නම් ඒ නැණවත් තෙමේ මේ අනුසස් පස ලබන්නේය.
’’(මින්) කප් තිස් දහසකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කැඳ දනෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් යාගුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
යාගුදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.