ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
46. ජගතිදායක වග්ග
8. ජාති පුප්ඵිය ථෙරාපදානය
’’මහත් යසස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි (මම) හිසෙහි පළඳින දෑසමන් මල් මාලාවක් කොට ශ්‍රී දේහයට පිදීමි.
’’මම එහි සිත පහදවා නිර්මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියේ (එම) පින්කම සිහිකරමි.
’’හැමකල්හි මට අහසින් මල් වැසි වසී. ඉදින් මිනිස් ලොවෙහි සැරිසරම් නම් මහත් යශස් ඇති රජකෙනෙක් වීමි.
’’සර්‍වදර්ශිවූ බුදුරජුන්හට කරනලද එම පුෂ්ප පූජාවෙහි බලයෙන් එහි (මිනිස් ලොවෙහි)ද මට මල් වැසි වසී.
’’මේ මාගේ පශ්චිම භවයයි. මේ අන්තිම භවය පවතී. අදද හැමකල්හි මට මල් වැසි වසී.
’’(මම) මින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (සර්‍වඥ) දෙහ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාති පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ජාතිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.