ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
46. ජගතිදායක වග්ග
7. එක ඡත්තිය ථෙරාපදානය
’’පෘථිවි තොමෝ හටගත් අඟුරු ඇත්තීය. එසේම මහී තොමෝ උණු අළු සහිතවූවාය. පදුමුත්තර බුදුරජතෙමේද එලිමහනෙහි සක්මන් කළ සේක.
’’මම සුදු කුඩයක් ගෙන මගට පිලිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක ප්‍රීතිය ඇතිවිය.
’’භූමිතොමෝ රැස්වූ මිරිඟුදිය ඇත්තීය. (එසේම) මේ පෘථිවිය දිලිසෙන අඟුරු මෙනි. සිරුරෙහි ආයුෂ පිරිහෙළන්නාවූ මහා වාතයෝද හමති.
’’ශීතය හා ඌෂ්ණය නසන්නාවූ, වාතය හා අව්ව වළකන්නාවූ මේ කුඩය පිළිගනු මැනව. මම (ඒ හේතුවෙන්) නිවන් ලබන්නෙමි’’යි කුඩය පිළිගැන්විය.
’’එකල්හි (ලෝකයා කෙරෙහි) අනුකම්පා ඇති කාරුණීකවූ, මහර්ධිවූ පදුමුත්තර බුදුරජතෙම මාගේ අදහස් දැන (එය) පිළිගත් සේක.
’’තිස් කපක් මුලුල්ලෙහි දෙවනුව දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම පන්සිය වරක් සක්විති රජ වීමි.
’’කරවන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය. පෙර තමා විසින් මැනවින් කළ පුණ්‍ය කර්‍ම විපාකය අනුභව කරමි.
’’මාගේ මේ පශ්චිම ආත්මයයි. මේ අන්තිම භවය පවතී. අද පවා මට හැම කල්හි සේසතක් දරයි.
’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි යම් ඡත්‍ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඡත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක ඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකඡත්තියත්ථෙරස්සාපදානං සත්තමං.