ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

47. සාලකුසුමිය වග්ග

9. සයම්පටි භාණිය ථෙරාපදානය

’’බබලන්නාවූ (පිපුනු) කුඹුක් ගසක් වැනිවූ, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨවූ, වීථියට පිළිපන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’(මොහ නමැති) ඝනාන්‍ධකාරය නසා බොහෝ දෙන (සසරින්) එතරකොට ඥාන ලෝකයෙන් බබලන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’රහතුන් ලක්‍ෂයක් සමග වඩින්නාවූ, ලෝක නායකවූ, බොහෝ සත්ත්‍වයන් දුකින් ගොඩලන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’දහම් බෙරය ගසන්නාවූ, තීර්ත්‍ථක සමූහයා මඩින්නාවූ, සිහනද (ශ්‍රේෂඨ නාද) කරන්නාවූ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’බඹලොවින් යම්තාක් බඹුන් සහිත (දෙවියෝ) අවුත් සියුම් පැණ විචාරත්ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදිත්ද?

’’දෙවියන් සහිත ලෝකයා යම් උතුමෙකුට ඇඳිලි බැඳ අයදිත්ද, එයින් (ඔවුහු) පින් (ඵල) අනුභව කෙරෙත්ද, ඒ බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’සියලු දෙන රැස්ව බුදුරජුන් පවරත්. එසේ ආරාධනය කරන ලදුයේ කම්පා නොවේ. (එම බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදීද?

’’නුවරට පිවිසෙන්නාවූ යමෙකුට බොහෝ භෙරීහු (බෙර) නාද කෙරෙත්ද, මත්ත හස්තීහු විශෙෂයෙන් නාද කෙරෙත්ද, (එම බුදුරජුන්) දැක කවරෙක් නම් නොපහදීද?

’’හැම කල්හි වීථියෙහි ගමන් කරන්නාවූ යමෙකුගේ (සිරුරින්) සියළු පැහැ බබලමින් විහිදේද, (භූමියෙහි) උස් ස්ථානයෙහි (පා තබනවිට) කවරෙක් නම් නොපහදීද?

’’බුදුරජුන් දහම් දෙසන කල්හි (මුළු) සක්වළෙහිම ඇසේද, ඒ බුදුරජතෙම සියළු සත්ත්‍වයන් (එම) ධර්‍මයෙන් අවබෝධ කරවති. (එම) බුදුරජුන් දැක කවරෙක් නම් නොපහදීද?

’’මින් සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට (මෙසේ) යම් ස්තූතියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන්හට පැසසීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයම්පටි භාණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සයංපටිභානියත්ථෙරස්සාපදානං නවමං.