ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
10. නිමිත්ත ව්‍යාකරණීය ථෙරාපදානය
’’මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවමි. සූපණස් දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහුය.
’’වේද හදාරණ ලද්දාවූ, සියලු වේදය දත්, ෂඩඞ්ගයෙහි වෙදාඞ්ග පරතෙරෙට ගියාවූ ස්වකීය විද්‍යාවන්ගෙන් ස්ථිරබවට පැමිණියාවූ ඔවුහු හිමවතෙහි වසත්.
’’මහත් යසස් ඇති (බොධිසත්ත්‍ව) දිව්‍යපුත්‍රතෙම තුසිත දෙව්ලොවින් ච්‍යුතව, මනා නුවණැත්තේ, සිහියෙන් යුතුවූයේ මව්කුසෙහි උපන්නාහ.
’’සම්බුදු රජුන් උපදනා කල්හි දශසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. එම ලෝක නායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.
’’මේ සම්පූර්‍ණ පෘථිවිය හැම අයුරකින්ම කම්පාවිය. (ඒ) මහ හඬට මහාජනයෝ කලබල වූහ.
’’සියළුදෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහුය. ’’මේ පොළොව කම්පා විය. කවර විපතක් වන්නේදැ’’ යි (විචාළේය.)
’’එකල්හි ඔවුන්හට (මම) මෙසේ කීයෙමි. ’’බිය නොවව්. තොපට (මින්) බියෙක් නැත. සියල්ලෝ විශ්වාස ඇත්තෝ වව්. මෙය සැප ඇති උපතෙකි. (එබඳු උපතක ලකුණකි.)
’’හේතු අටකින් ගැටුණු මේ පොළොව කම්පා කළේය. එබඳු නිමිතීහු පැණෙති. (මේ) අතිමහත් ආලෝකයකි.
’’පසැස් ඇති බුදුරජතෙම නිසැකවම (ලොව) උපදින්නේයැ’’ යි ජනසමූහයාට දන්වා මම ඔවුනට පන්සිල් කීමි.
’’පඤචසීලයද, දුර්ලභවූ බුද්ධොත්පාදයද (ගැන) අසා ඔවුහු සොම්නස්වූවාහු, තුටු පහටු වූවාහු, හටගත් කළකිරීම් ඇත්තෝද වූහ.
’’මින් දෙයානූවන කපෙහි (බුදුරජුන් උපදින්නේයයි) යම් නිමිත්තක් පැවසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නිමිති පැවසීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්ත ව්‍යාකරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිමිත්තබ්‍යාකරණියත්ථෙරස්සාපදානං දසමං.
සාලකුසුමියවග්ගො සත්තචත්තාලීසමො.