ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
48. නළමාලිය වග්ග
1. නළමාලිය ථෙරාපදානය
’’ලොකයාගේ පූජාවන් පිළිගන්නාවූ, වනය මතුයෙහි (අහසින්) ගමන් කරන්නාවූ, ලෝකනායකවූ, ස්වර්‍ණවර්‍ණවූ සම්බුදුරජුන් දුටිමි.
’’එකෙණෙහි (මම) බට මලක් ගෙන නික්මෙන්නේම එහිදී චතුරෝඝයන් තරණය කළාවූ ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් දුටිමි.
’’පහන් සිත් ඇති, සොම්නස්වූ මම දක්‍ෂිණාර්හවූ, මහාවීරවූ, සියළු ලොවට අනුකම්පා කරන්නාවූ බුදුරජුන්හට (එම) මල පිදීමි.
’’මින් තිස්එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළමාලියත්ථෙරස්සාපදානං පඨමං.