ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
48. නළමාලිය වග්ග
2. මණිපූජක ථෙරාපදානය
’’සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම්වූ පස්මරුන් ජයගත්, විවේක සැප කැමැති බුදුරජතෙම අහස් මගෙහි වඩියි.
’’හිමවතට නුදුරෙහි මහත්වූ ස්වයංජාත විලක් විය. එහි පුණ්‍යකර්‍මය සහ යෙදුනු හෙවත් එම පිණින් පහළවූ මාගේ භවනය විය.
’’භවනයෙන් නික්ම (පිටතට ආ කල්හි) නිළුපුල් මල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් වැනි ලෝකනායකවූ බුදුරජුන් දිටිමි.
’’බුදුරජුන්හට පුදන්නෙමැයි සොයන්නේ (සුදුසු) මලක් නොදුටිමි. මම සිය සිත පහදවා ශාස්තෘන් වහන්සේට වැන්දෙමි.
’’(මම) මාගේ හිසෙහිවූ මැණික ගෙන, ’’මෙම මැණික් දනෙහි යහපත් විපාකයක් වේවා’’ යි ලෝකනායකවූ බුදුරජුන්හට පිදීමි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘවූ අහසෙහි (සිටියාවූ) පදුමුත්තර බුදුරජතෙම මෙම ගාථාව වදාළ සේක.
’’තාගේ ඒ අදහස සමෘද්ධ වේවා. මහත්වූ සැප ලබහිවා. මෙම මැණික් පූජාවෙන් මහත් යසස් අනුභව කරව’’ (කියායි.)
’’භාග්‍යවත්වූ පදුමුත්තර නම්වූ බුද්ධශ්‍රේෂ්ඨ තෙමේ මෙම වචනය වදාරා වැඩි සේක. (මා) යම් (ප්‍රාර්ත්‍ථනාවක) සිත පිහිටුවන ලදද,
’’(ඒ හේතුවෙන්) කල්ප සැටක් දෙවනුව දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම සියක්වර සක්විතිරජ වීමි.
’’පූර්‍වකර්‍මය සිහිකරන්නාවූ දෙවිවූ මට ආලෝකවත් කරන්නාවූ මාගේම මැණික් පහළ වේ.
’’මාගේ පිරිවර සුවාසූ දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහුය. පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහුය. දිග ඇස් පිහාටු ඇත්තාහුය. සිනා සහිත වූවෝය. මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තේය. (එම ස්ත්‍රීහු) නිතර මා පිරිවරත්. මිණි පූජාවෙහි විපාකයයි.
’’රුවන්මුවාවූද, මිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද මාගේ භාණ්ඩයෝ එසේම මැනවින් කරන ලද්දාහු වෙත්. (එසේම) කැමති පරිදි පළඳනාවෝද වෙත්.
’’රම්‍යවූ කුළුගෙවල් ගුහාවෝද, මාහැඟි සයනාසනද මාගේ අදහස දැන කැමතිතාක් පහළ වෙති.
’’යමෙක් මිනිසුනට පින්කෙත්වූ, සව් සත්හට ඔසුවක්වූ, ධර්‍මශ්‍රවණය ලබත් නම් (එය) ඔවුනට ලාභයකි. මනාවූ ලාභයකි.
’’යම් බඳුවූ මම බුදුරජුන් දුටිම්ද, (එහිදී) මා විසිනුදු මනාවූ කර්‍මයක් කරන ලදී. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අචලපදයවූ නිවණටද පැමිණියේ වෙමි.
’’දෙවිවූ හෝ, මිනිස්වූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (ඒ) හැම කල්හිම හාත්පස සත්රියනක් මාගේ ආලෝකය පැතිරෙන්නේ වේ.
’’එම මැණික් පූජාවෙන් සම්පත් අනුභවකොට මා විසින් ඥානාලෝකයද දක්නා ලදී. අචලවූ ශාන්ති පදයද අවබෝධ කර ගතිමි.
’’මින් සියක් දහස්වන කපෙහි යම් මැණික් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මිණි පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මණිපූජකත්ථෙරස්සාපදානං දුතියං.