ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

3. උක්කංසතික ථෙරාපදානය

’’එකල්හි මෞන ගුණ ඇති ධ්‍යාන කරන්නාවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, භාග්‍යවත්වූ කොසික නම් බුදුරජතෙමේ චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසූහ.

’’(මම) ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලදුව, හිමවතට පිවිස, පසළොස්වක් දිනයෙහි සඳු වැනිවූ කොසික බුදුරජුන් දිටීය.

’’එකල්හි මම උල්කා (පන්දම්) සියයක් ගෙන උන්වහන්සේ පිරිවැරීමි. මම රෑ දාවල් සතක් (එහි) සිට අටවෙනි දිනයෙහි ගියෙමි.

’’සමාධියෙන් නැගී සිටියාවූ, පස්මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධ කරගත් කොසික බුදුරජුන් වැඳ, පහන් සිත් ඇත්තේ, මම එක් භික්‍ෂාවක් දුනිමි.

’’විපදෝත්තමයාණන් වහන්ස, ලොක ජ්‍යෙෂ්ඨයාණන් වහන්ස, නරශ්‍රේෂ්ඨයාණන් වහන්ස, එම කර්‍මය කරණකොටගෙන තුෂිත දෙව්ලොවෙහි උපනිමි. එක භික්‍ෂා දානයෙහි මේ විපාකයයි.

’’දිවා කල්හිද, රාත්‍රියෙහිද යන හැම කල්හි මාගේ ආලෝකය වෙයි. මම හාත්පස යොදුන් සියයක් ආලෝකය පතුරුවමි.

’’මම පස්පණස්වන කපෙහි සිව් මහ සයුරු හා සිව් මහ දිවයින් කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නාසුළුවූ, දඹදිව රාජධානිය කොට ඇති බැවින් හෝ වෙසෙසින් එයට අධිපතිවූ සක්විති රජෙක් වීමි.

’’එකල්හි මට සමෘද්‍ධවූ, සම්පත්තියෙන් පිරුණාවූ, මැනවින් කොට නිමවන ලද නගරයක් විය. (එය) තිස් යොදුනක් දිගය. විසි යොදුනක් පුළුල්ය.

’’විශ්වකර්‍මයා විසින් මවන ලදී. (එව - කව - බොව යනාදී) දශවිධ ශබ්දයෙන් තොර නොවීය. කයිතාලම් (ආදී තූර්‍ය්‍ය) නාදයෙන්ද යුක්තවූ ශොභන නම්වූ නගරයකි.

’’ඒ නගරයෙහි වැල්ද, දරද, මැටිද ඇත. (ඒ) සියල්ල ස්වර්‍ණමයය. හැම කල්හිම බබලයි.

’’ප්‍රාකාර සතරකින් වට කරන ලදී. සිව් පවුරුහුම මිණිමුවා වූහ. මැද පෙදෙසෙහි තාල පංක්තීහුද විශ්වකර්‍මයා විසින් මවන ලදී.

’’පියුම් උපුල්වලින් වැසුණු (හෙළ) පියුමින් ගැවසීගත්, නොයෙක් සුවඳ වහනය වන්නාවූ පොකුණු දස දහසක් වෙති.

’’මම මින් සිව්අනූවන කපෙහි යම් උල්කා (පන්දම්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උල්කා ධාරණයෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්කංසතික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

උක්කාසතිකත්ථෙරස්සාපදානං තතියං.