ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

7. ගිරිපුන්නාගිය ථෙරාපදානය

’’එකල්හි සොභිත නම් සම්බුදුරජතෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසූහ. මම ගිරි පුන්නාග (කඳුවල හැදෙන දොඹ) පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන් පිදීමි.

’’මින් සිව් අනූවන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිපුන්නාගිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ගිරිපුන්නාගියත්ථෙරස්සාපදානං සත්තමං.