ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

49. පංසුකූල වග්ග

4. ඤාණත්‍ථවික ථෙරාපදානය

’’හිමවතට දකුණෙහි මට මැනවින් කරණ ලද අසපුවක් විය. එකල්හි උත්තමාර්ත්‍ථය සොයන්නේ වනයෙහි වෙසෙමි.

’’මුල්වලින්ද, ඵලවලින්ද, ලාභ අලාභ දෙකින්ද, (සමව) තුටුවූයේ, මම ආචාර්‍ය්‍යයන් සොයමින් හුදකලාවම වෙසෙමි.

’’එකල්හි සුමෙධ නම් සම්බුදුරජතෙම ලොව පහළවූහ. (හෙතෙම) මහාජනයා (සසරින්) ගොඩලමින් චතුස්සත්‍යය ප්‍රකාශ කෙරෙති.

’’(මෙතෙක්කල්) මම සම්බුදුරජුන් ගැන නොඅසමි. මට කිසිවෙක් එය නොකියයි. අට මසක් ඉක්මගිය කල්හි බුදුරජුන් (ගැන) ඇසීමි.

’’මම ගිනි හා දර බැහැරකොට අසපුව හැමද පිරිකර කද ගෙන වනයෙන් නික්ම ගියෙමි.

’’එකල්හි ගම්හි හෝ, නියම් ගම්හි හෝ එක් රැයක්ව වසන්නාවූ මම පිළිවෙලින් චන්ද්‍රවතී ගඟ වෙත එළඹියෙමි.

’’එසමයෙහි භාග්‍යවත්වූ සුමෙධ නම් බුදුරජතෙම බොහෝ සත්ත්‍වයන් (සසරින්) ගොඩලමින් අමෘත පදය (නිවන) දෙසති.

’’ජන සමූහයා ඉක්මවා (ගොස්) ගුණ සයුරක්වූ ජිනෙන්‍ද්‍රයන් වැඳ, අඳුන් දිවිසම සකස්කොට, බුදුරජුන්හට ස්තූති කරමි.

’’ඔබ සත්ත්‍වයනට ශාස්තෘ වෙහිය. කෙතුවක්ද, ධජයක්ද, යාගසමානයෙක්ද වෙහිය. (එසේම) විපදෝත්තම තෙම පරායණයක්ද, ප්‍රතිශ්ඨාවක්ද, ප්‍රදිපයක්ද වෙහිය.

එක්විසිවෙනි බණවරයි.

’’චතුරාර්‍ය්‍ය සත්‍යය නම්වූ දර්‍ශනයෙහි නිපුන බව ඇති, වීරවූ, ඔබ ජන සමුහයා සසරින් තරණය කෙරෙහිය. මුනීන් වහන්ස, ලෙව්හි ඔබ වහන්සේට වඩා උසස් අනික් (සත්ත්‍වයන් දුක් සයුරින්) එතර කරන්නෙක් නැත.

’’ඒකාන්තයෙන් මහසයුර තණ අගින් පමණ කරන්නට හැකිවන්නේ නමුදු ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය ප්‍රමාණ කරන්නට නොහැක්කේය.

’’පසැස් ඇත්තාණන් වහන්ස, තරාදි පියනෙහි තබා පොලොව දැරීමට හැකිවන්නේ නමුදු ඔබවහන්සේගේ ප්‍රඥාවෙහි ප්‍රමාණයක් (කරන්නට) නොහැක්කේමය.

’’අහස රැහැණකින් හෝ, අඟුලෙන් මැනීමට හැකිවන්නේ නමුදු සර්‍වඥයන් වහන්ස, ඔබවහන්සේගේ සිලය පමණ කරන්නට නොහැක්කෙමි.

’’මහසයුරෙහි දියද, අහසද, පොළොවද යන මේවා පමණකළ හැක්කාහු නමුදු, පසැස් ඇත්තානන් වහන්ස, ඔබ පමණ කළ නොහැකි ගුණ ඇත්තේ වෙහිය.’’

’’මහත් යසස් ඇති සර්‍වඤයන් වහන්සේට ගාථා සයකින් (මෙසේ) ස්තූතිකොට, එකල්හි මම ඇඳිලි බැඳගෙන නිශ්ශබ්දව සිටියෙමි.

’’මහත්වූ ප්‍රඥාව ඇති, මනා නුවණ ඇති, යමෙකුට සුමේධයයි ලෝවැස්සෝ කියත්ද, (එම සුමෙධ බුදුරජතෙම) භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’යමෙක් පැහැදුනේ, සිය සිතින්ම මාගේ නුවණට පැසසීද, හේ කවරෙක්දැයි මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ (වචනය) අසව්.

’’(මෙතෙම) සත් සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් දෙවනුව දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’සියක් වර සක්විති රජ වන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’මෙම කුශල ධර්‍මය හා යෙදුනේ, දෙවිවූයේ හෝ, මිනිස්වූයේ හෝ, අනූනවූ චිත්ත සංකල්ප ඇත්තේ, තියුණු නුවණ ඇත්තෙක් වන්නේය.

’’මින් තිස් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.

’’(මෙතෙම) ගිහිගෙන් නික්ම කිසිත් ධනයක් නොමැත්තකුසේ පැවිදි වන්නේය. උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බව ලබන්නීය.

’’යම් තැනක පටන්කොට තමා ගැන සිතම්ද, යම් තැනක පටන්කොට සසුනකට පැමිණියේ (පැවිදිවූයේ) වෙම්ද, මේ අතරතුර මනොඥ නොවූ සිතිවිල්ලක් ගැන නොදනිමි.

’’මෙම සියළු භවයෙහි හැසිර සම්පත් අනුභව කෙළෙමි. මාගේ භෝගයෙහි අඩු බවක් නැත. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාකයයි.

’’මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියළු භවයෝ නසන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’මින් තිස් දහස්වන කපෙහි (යම් එබඳු) නුවණකට පැසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණත්‍ථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ඤාණථවිකත්ථෙරස්සාපදානං චතුත්ථං.