ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
5. චන්‍දන මාලිය ථෙරාපදානය
’’ප්‍රිය ස්වරූපවූ, මනරම්වූ පස්කම් ගුණ හැර, අසූ කෙලක් ධනයද හැර අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’මම පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාක් දුශ්චරිතයද හැර දමා ගං ඉවුරෙහි වසමි.
’’හුදකළාව වසන්නාවූ මා වෙත බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ එළඹි සේක. බුදුරජයයි මම නොදනිමි. (එහෙත්) පිළිසඳර කථා කෙළෙමි.
’’මම පිළිසඳර කථා කොට නම් ගොත් විචාළෙමි. (කෙසේද යත්?) (ඔබ) දේවතාවෙක් වෙහිද, නොඑසේ නම් පුරින්‍දද නම්වූ ශක්‍රයා වෙහිද,
’’ඔබ කවරෙක් හෝ වෙහිද? කාගේ පුත්‍රයෙක් හෝ වෙහිද? මහා බ්‍රහ්මයා මෙහි පැමිණියේ දෝ? උදාවන හිරු මෙන් සියළු දිගුන් බබුළුවහිය.
’’නිදුකාණෙනි, (ඔබගේ) පාදයෙහි දහසක් දැවි ඇති චක්‍ර (ලක්‍ෂණයෝ) පෙණෙත්. ඔබ කවරෙක් හෝ වෙහිද? කවරෙකුගේ පුත්‍රයෙක් හෝ වෙහිද? එය අපි කෙසේ දැනගනිමුද?
’’නම් ගොත් පවසනු මැනව. මාගේ සැක දුරුකරණු මැනව.’’ ’’මම දෙවියෙක් නොවෙමි. ගාන්‍ධර්‍වයෙක්ද නොවෙමි. පුරින්‍දද නම්වූ ශක්‍රයාද නොවෙමි.
’’මට බ්‍රහ්මත්‍වයක්ද නැත. ඔවුනතුරෙන්ද මම උතුම්වෙමි. ඔවුන්ගේ විෂයය ඉක්මවූයේ වෙමි. කාම බන්‍ධනය ප්‍රදාලනය කෙළෙමි.
’’සියළු කෙළෙසුන් දවා, උතුම්වූ සම්‍යක් සම්බෝධියට පැමිණියේ වෙමි.’’ මම උන්වහන්සේගේ වචනය අසා මෙම වචනය කීමි.
’’මහිමුනිවූ සර්‍වඥයන් වහන්ස, ඉදින් ඔබ බුදුවූයේ වෙහි නම් වැඩ හිඳිනු මැනවි. මම ඔබට පුදන්නෙමි. ඔබ දුක් කෙළවර කරන්නේ වෙහිය.’’
’’මම අඳුන්දිවි සම් අතුරා ශාස්තෘන් වහන්සේට දුනිමි. භාග්‍යවත් තෙමේ ගිරි ගුහාවක සිංහයෙකු මෙන් එහි වැඩහුන් සේක.
’’මහා පර්‍වතයට නැග අඹ ගෙඩියක් ගතිමි. සල් කලණ මල්ද, මාහැඟි සඳුන්ද,
’’ඒ සියල්ල වහා ගෙන ලෝකනායකයන් වහන්සේ වෙත එළඹ එම බුදුරජුන්හට (අඹ) ඵල දී සල්මල් පිදීමි.
’’මම සඳුන් ආලේපකොට, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේට වැන්දෙමි.
’’සුමෙධ බුදුරජතෙම අඳුන්දිවි සමහි වැඩහිඳ එකල්හි මා තුටුකරමින් මාගේ කර්‍මය පැවසූහ. (කෙසේදයත්?)
’’ගඳ - මල් - දෙවගය සහිත මෙම අම්බඵල දානය කරණකොටගෙන දෙදහස් පන්සියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේය.
’’සම්පූර්‍ණවූ චිත්ත සංකල්පනා ඇති වශවර්ති දෙවියෙක්ද වන්නේය. දෙදහස් හසියවන කපෙහි මිනිසත්බවට යන්නේය.
’’සිව් සයුරු හා සිව් මහ දිවයින් කෙළවරකොට ඇති, පෘථිවියට අධිපතිවූ, මහත් ඎද්‍ධි ඇති සක්විති රජෙක් වන්නේය. විශ්වකර්‍මයා විසින් මවන ලද වෙභාර නම් නගරයක්ද විය.
’’(එය) නොයෙක් රුවනින් සරසන ලද සියල්ල ස්වර්‍ණමයවූයේ විය. හෙතෙම මෙම ක්‍රමයෙන්ම භවයෙහි සැරිසරන්නේය.
’’දිව අත්බවෙහිද, යලි මිනිස්බවෙහිද යන සියළු තන්හි පුදන ලදුයේම පශ්චිම භවය පැමිණි කල්හි බ්‍රාහ්මණයෙක් වන්නේය.
’’ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වන්නේය. අභිඥාවන්හි පරතෙරට ගියේම ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.’’
’’ලෝකනායකවූ සුමේධ බුදුරජතෙම මෙය වදාරා මා බලා සිටියදීම අහස් මගෙහි (අහසින්) වැඩි සේක.
’’තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතව මව් කුසෙහි උපනිමි. මම යම් ගැබක වෙසෙම්ද (එකල්හි) මාගේ භොගයෙහි අඩුබවක් නැත.
’’මා මව් කුසෙහි පිළිසිඳගත් කල්හි මාගේ අදහසට අනුව මවට කැමතිතාක් ආහාරද පානද යන භෝජන පහළ වේ.
’’උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වීමි. කෙස් කැපූ කල්හි රහත් බවට පැමිණියෙමි.
’’පූර්‍ව කර්‍මය පිරික්සන්නේ, මම එය අඩුවෙන් නොදුටිමි. තිස්දහස්වන කපෙහි (සිට) මාගේ කර්‍මය සිහි කෙළෙමි.
’’පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබවහන්සේගේ සසුනට පැමිණ අචල පදයවූ නිවණට පැමිණියේ වෙමි.’’
’’තිස් දහස්වන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්‍දන මාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චන්දනමාලියත්ථෙරස්සාපදානං පඤ්චමං.