ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
7. පුලිනුප්පාද ථෙරාපදානය
’’හිමවත් පව්වෙහි දෙවල නම්වූ තවුසෙක් විය. එහි අමනුෂ්‍යයන් විසින් මවන ලද මාගේ සක්මණ විය.
’’එකල්හි දළමළුඩු බරින් බරවූ කමඬලා (පැන් කෙණ්ඩි) දරන්නාවූ උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන (මම) වනයෙන් නික්මුනෙමි.
’’එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහුය. (ඔවුහු) ස්වකීය කටයුතුවල යෙදුනාහු වනයෙහි වෙසෙත්.
’’අසපුවෙන් නික්ම වැලි සෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස්කොට එම සෑය පිදීමි.
’’මම එහි සිත පහදවා අසපුවට පිවිසියෙමි. සියළු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙම කරුණ විචාළාහුය. (කෙසේද යත්?)
’’ඔබ වැලියෙන් කළ සෑයක්හි යම් දෙවියෙකුට නමස්කාර කෙරෙහිද, (එම දෙවියා) අපිදු දැන ගැනීමට කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද ඔබ අපට (එය) කියනු මැනව.’’
’’අප විසින් මන්ත්‍ර පදයෙහි දක්වන ලද මහත් යසස් ඇති බුදුවරු වෙති. මම මහත් යශස් ඇති එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් නමදින්නෙමි.
’’ඒ මහාවීරවූ, සර්‍වඥවූ ලොකනායකවරයෝ කෙබඳු වෙත්ද? කෙසේවූ සටහන් ඇත්තෝ වෙත්ද? කෙසේවූ ස්වභාව ඇත්තෝ වෙත්ද? ඒ මහත් යසස් ඇත්තෝ කෙබඳු වූවෝ වෙත්ද?
’’බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝය. සතළිසක් දත් ඇත්තෝය. උන්වහන්සේලාගේ වස්සෙකුගේ බඳු ඇස් පිහාටු ඇති, ඔලිඳ ගෙඩි වැනි නේත්‍රයෝ වෙති.
’’ගමන් කරන්නාවූ බුදුවරයෝ විය. පමණවූම දුර බලත්. උන්වහන්සේලාගේ දණහිස් ශබ්ද නොකරයි. (අත් පා ආදී) සන්ධීන්හි ශබ්දයක් නොඇසේ.
’’ගමන් කරන්නාවූ බුදුවරයෝ පළමුකොට දකුණු පය ඔසවමින් (පෙරට තබමින්) යන්නාහ. මේ බුදුවරයන්ගේ ධර්‍මතාවකි.
’’ඒ බුදුවරයෝ කෙශර සිංහරාජයන් මෙන් නිර්භීතය. තමා උසස්කොට නොදක්වත්. ප්‍රාණීන් හෙලා නොදකිත්.
’’මාන - අවමාන දෙකින් මිදුනාහු සව් සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝය. බුදුවරයෝ තමා උසස්කොට නොදක්වන්නෝය. බුදුවරයන්ගේ මේ ධර්‍මතාවකි.
’’(ලොව) උපදින්නාවූ එම බුදුවරයෝ (විශෙෂ) ආලෝකයක් දක්වත්. හුදෙක් මෙම පෘථිවිය ආකාර සයකින් කම්පා කෙරෙත්.
’’මේ බුදුවරයෝ නිරයද දකිත්. (ලොව පහළවන) එකල්හි නිවීයෙයි. මහවැසි වසියි. බුදුවරයන්ගේ මේ ධර්‍මතායි.
’’අතුල්‍ය (අසම)වූ, මහත් යසස් ඇති, අති ශ්‍රේෂ්ඨවූ ඒ බුදුවරයෝ රූපකාය සම්පත්තියෙන් නොඉක්මවිය හැක්කේය. තථාගතවරයෝ අපමණවූ ගුණ ඇත්තෝය.
’’සියළු ශිෂ්‍යයෝ මාගේ වචනය ගෞරව සහිතව පිළිගත්තාහුය. (වචනයට අනුව තුටුවන) (ඔවුන්ගේ) ශක්තියවූ පමණින්, බලයවූ පමණින් එසේම පිළිපැද්දාහුය.
’’ස්වකීය කර්‍මාභිලාෂීවූ (ඔවුහු) මාගේ වචනය අදහන්නාහූ, බුදුබවට ගිය සිත් ඇත්තාහූ වැලි (සෑය) පුදත්.’’
’’එකල්හි මහත් යශස් ඇති (බෝසත්) දිව්‍යපුත්‍ර තෙමේ තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතව මව්කුසෙහි උපන්නේය. දසදහසක් ලෝදා කම්පාවිය.
’’මම අසපුවට නුදුරෙහි සක්මනෙහි සිටියේ වෙමි. සියළු ශිෂ්‍යයෝ රැස්ව මාගේ සමීපයට පැමිණියාහුය.
’’(පැමිණ) ’’පෘථිවිය ඎෂභයෙකු මෙන් නාද කෙරෙයි. සිංහයෙකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලචර ව්‍යාල මත්ස්‍යයෙකුසේ සැළෙයි. (මින්) කවර විපාකයක් වන්නේදැ’’ යි (ඇසූහ.’
’’වැලි සෑය සමීපයෙහිදී (මම) යම් බුදුවරයෙකු ගැන කීයෙම්ද? ඒ භාග්‍යවත් ශාස්තෘ තෙමේ දැන් මව්කුසට එළඹියේය.
’’ඔවුනට ධර්‍ම කථාව කියා මහාමුනිවූ බුදුරජුන්හට පසසා සිය සිසුන් පිටත්කොට යවා මම පලඟ බැඳගතිමි.
’’එකාන්තයෙන්ම මාගේ (ශරීර) බලයද ක්‍ෂයවිය. බලවත් ව්‍යාධියකින් මම පෙළුනේ වෙමි. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත්කොට එහි කළුරිය කෙළේ වෙමි.
’’එකල්හි සියළු ශිෂ්‍යයෝ රැස්ව චිතකයක් කළාහුය. මාගේ මෘත දේහය ගෙන සෑයට නැංවූහ.
’’සෑය පිරිවරා හිඳ, ඇඳිලි බැඳ, සෝක හුලින් පෙඵනාහු රැස්වූ (එම) ශිෂ්‍යයෝ හැඬුවාහුය.
’’ඔවුන් විලාප කියමින් හඬද්දී (එම) චිතකය සමීපයට ගියෙමි. (ගොස් මෙසේ කීමි.) ’’මම තොපගේ ආචාර්‍ය්‍යයා වෙමි. ශෝක නොකරව්. මනා නුවණින් යුතුව, යහපත්වූ කටයුතුවල දිවා රෑ දෙක්හි අනලස්වූයේ උත්සාහ වඩව්. තොප විසින් (අෂ්ට දුෂ්ටක්‍ෂණ විනිර්මුක්ත බුද්ධොත්පාද) ක්‍ෂණය පිළියෙළ කර ගන්නා ලදී.
’’(මෙසේ) සිය සිසුනට අනුශාසනා කොට යලි දෙව්ලොවට ආයෙමි. මම අටළොස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි.
’’මම පන්සිය වරක් සක්විති රජ වීමි. පන්සියක් වර දිව්‍ය රාජ්‍යය කෙළෙමි.
’’මම සෙසු කල්පයන්හි (දෙව් - මිනිස් දෙගතියෙහි) මිශ්‍ර වශයෙන් සැරි සැරීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි සෑ පිදීමෙහි මේ විපාතයයි.
’’සඳ රැස් සහිත මසෙහි යම්සේ වෘක්‍ෂයෝ පිපෙත්ද, එසේම සුදුසු කල්හි මහර්ෂීවූ බුදුරජුන් විසින් පුබුදුවන ලදුයේ වෙමි.
’’යොග ක්‍ෂෙම නම්වූ නිවණ දක්වාම උසුලාගෙන යන්නාවූ මාගේ ධූරවාහක (ගව)යා වීර්‍ය්‍යයයි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’(මින්) සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගැණ කීර්‍තනයෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනුප්පාද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුලිනුප්පාදකත්ථෙරස්සාපදානං සත්තමං.