ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
8. තරණිය ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, ලෝකනායකවූ, භාග්‍යවත්වූ අත්‍ථදස්සී බුදුරජතෙමේ චින්තා නදී තීරයට වැඩි සේක.
’’(එකල මම) ජලයෙහි හැසිරෙන්නාවූ කැසුබුවෙක් (වීමි.) බුදුරජුන් ගඟින් එතර කරනු කැමැති මම එම සර්‍වඥයන් වහන්සේ වෙත එළඹියෙමි. (එළඹ මෙසේ කීමි.)
’’මහාමුනිවූ බුදුරජතෙමේ මාගේ පිටට නගීවා. ඒ ඔබ මම තරණය කරන්නෙමි. ඔබ (ලෝකයාගේ) දුක් කෙළවර කරන්නේ වෙහිය.’’ (කියායි.)
’’මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජතෙම මාගේ අදහස දැන, මාගේ පිටට නැගී සිටි සේක.
’’යම් තැනක පටන් කොට තමා සිහි කෙරෙම්ද, යම් තැනක පටන් කොට නැණවත් බවට පැමිණියේ වෙම්ද, ඔබ වහන්සේගේ පාද තලය ස්පර්‍ශවූ කල්හි ඇතිවූ ඒ සුවය යම්සේද, එබඳු සුවයක් මට (මේ තාක්) නැත.
’’මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජතෙම එතරවී ගංතෙර සිටගෙන මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)
’’මේ ගඟ සැඩපහර තරණය කරමැයි (මා තුළ) යම්තාක් සිතක් පවතීද (එවිට) පැණවත් (මේ) කැසුබු රජතෙම මා එතර කරවීය.
’’මේ බුදුරජුන් තරණය කිරීම කරණකොටගෙනද, (ඇතිවූ) මෙත්සිත ඇතිබව කරණකොටගෙනද අටළොස්වන කපෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් මෙහි පැමිණ, හුනස්නෙහිම හිඳ, සැකය නැමැති සැජපහර තරණය කරන්නේය’’ (කියායි.)
’’යම්සේ සරු කෙතක රෝපණය කරන ලද ස්වල්පවූද බිජුවට මැනවින් වැසිවසින කල්හි (එහි) සශ්‍යඵලය ගොවියා තුටු කරයි.
’’එසේම මේ බුද්‍ධ ක්‍ෂෙත්‍රය සම්බුදුරජුන් විසින් දෙසන ලද (දහම් නමැති) වැසි මැනවින් වස්නා කල්හි (එම) සශ්‍යඵලය තෙම ගොවියා තුටු කරයි.
’’වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වෙමි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
’’අටළොස් සියවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් තරණය කිරීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තරණියත්ථෙරස්සාපදානං අට්ඨමං.