ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
9. ධම්මරුචි ථෙරාපදානය
’’යම් කලෙක්හි පස්මරුන් දිනූ දීපඞ්කර බුදුරජතෙම සුමේධ තවුසාහට මෙය (විවරණ වශයෙන්) ප්‍රකාශ කළහ. (කෙසේද යත්?) මින් අපරිමෙය්‍ය කල්පයෙහි මෙතෙම බුදුවන්නේය.
’’(එකල්හි) මොහුගේ ජනක මාතාව මායා නම් වන්නීය. පියතෙම සුදේධාදන නම් වන්නේය. මෙතෙම ගෞතම නම් වන්නේය.
’’වීර්‍ය්‍ය වඩා, දුෂකර ක්‍රියා කොට, ඇසතු බෝරුක් මුල්හිදී මහත් යසස් ඇති මෙතෙම සම්‍යක් සම්බුද්‍ධ වන්නේය.
’’උපතිස්ස තෙමේද, කෝලිත තෙමේද අග්‍රශ්‍රාවකයෝ වන්නාහුය. මේ බුදුරජුන්හට ආනන්‍ද නම් තැනැත්තේ උවටැන් කරන්නේය.
’’ඛෙමා තොමෝද, උත්පලවර්‍ණා තොමෝද අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහුය. චිත්ත තෙමේද, ආලවක තෙමේද අග්‍රොපාසකයෝ වන්නාහුය.
’’ඛුජ්ජුත්තරාවෝද, නන්‍ද මාතා තොමෝද අග්‍රොපාසිකාවෝ වන්නාහුය. මෙම (සර්‍වඥ) වීරයන් වහන්සේගේ බෝධිය ඇසතුයයි කියනු ලැබේ.
’’අසමවූ මහර්ෂීන් වහන්සේගේ මෙම වචනය අසා සතුටුවූ දෙව් මිනිස්සු කරන ලද ඇඳිලි ඇත්තාවූ නමස්කාර කෙරෙත්.
’’එකල්හි මම සුශික්‍ෂිතවූ මෙඝ නම් මානවකයෙක් වීමි. සුමෙධ බුදුරජුන්ගේ එම ශ්‍රේෂ්ඨ විවරණය අසා, මහාමුනිවූ, කුළුණුබර අදහස් ඇති සුමෙධ බුදුරජුන් කෙරෙහි විශ්වාස ඇත්තේව පැවිදිවන්නාවූ එම (සුමේධ) වීරයන් සමග ඒ අනුව පැවිදිවීමි.
’’ප්‍රාතිමොක්‍ෂ සංවරයෙහිද, පඤ්චවිධ ඉන්‍ද්‍රිය සංවරයෙහිද සංවෘතවූයේ, පිරිසිදු ආජීවය ඇත්තේ, සිහියෙන් යුතුවූයේ, බුදුසසුන කරන්නාවූ වීරයෙක්ව,
’’මෙසේ වාසය කරන්නාවූ මම කිසියම් පාපමිත්‍රයෙකු සමග අනාචාරයෙහි යෙදුනේ (සුමගින් ගිලිහී) විපතට පත්වූයේ,
’’විතර්‍කයට වසඟවූවෙක්ව සසුනෙන් බැහැරවීමි. පසුව එම පාපමිත්‍රයා විසින් මම මාතෘඝාතක කර්‍මයෙහි යොදවන ලදී.
’’දුෂ්ඨ සිත් ඇත්තේ (මම) මව මැරීමි. ආනන්තර්‍ය්‍ය කර්‍මයක් කෙළෙමි. එම ආත්ම බවෙන් චුතවුයේ, ඉතා දරුණු (දුක් ඇති) මහා අවීචි නරකයෙහි උපන්නේ වෙමි.
’’දුගතියට ගියේ, බොහෝ කාලයක් දුඃඛිතව හැසුරුනෙමි. නැවත නරශ්‍රේෂ්ඨවූ සුමෙධ වීරයා නොදුටිමි.
’’මෙම කල්පයෙහි සමුද්‍රයෙහි තිමිඞ්ගල නම් මත්ස්‍යයෙක් වීමි. මහ සයුරෙහි නැවක් දැක ගොදුරු පිණිස (ඒ නැව වෙත) එළඹියෙමි.
’’මා දැක බියපත්වූ වෙළෙන්දෝ, බුද්‍ධශ්‍රේෂඨයන් වහන්සේ සිහි කළාහුය. ඔවුන් විසින් කියන ලද ’’ගෞතම’’ යන මහ හඬ අසා,
’’පූර්‍ව (දීපඞ්කර විවරණ) සංඥාව සිහිකොට ඉන් කළුරිය කළ මම සැවැත්නුවර ආඪ්‍යවූ කුලයක බ්‍රාහ්මණ ජාතියෙහි උපනිමි.
’’ධර්‍මරුචි’’ නම්වූ සියළු පව් පිළිකුල් කරන්නෙක් වීමි. උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම ලොව බබුළුවන්නාවූ බුදුරජුන් දැක,
’’දෙව්රම් වෙහෙරට ගොස් අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. රාත්‍රියෙහිද, දිවා කල්හිද බුදුරජුන් වෙත තෙවිටක් එළඹෙමි.
’’එකල්හි සර්‍වඥ තෙම ධර්‍මරුචි නම්වූ මා බොහෝ කලකින් දැක මෙසේ වදාළ සේක. ඉක්බිති පූර්‍ව කර්‍මයෙන් ප්‍රභාවිතවූ බුදුරජුන්හට (මෙසේ) කීමි.
’’පෙර දිවකුරු බුදුන් හමුවෙහි සපිරූ පිරිසිදු පාරමී සමූහ ඇති, සියයක් පින් ලකුණු ඇති, සුන්දර දැකුම් ඇති, උපමා විෂයාතික්‍රාන්ත ශරීර ඇති ඔබ බොහෝ කලකට පසු මම අද ඒකාන්තයෙන් දකිමි.
’’මහා මුනීන් වහන්ස, ඔබ විසින් නසන ලද මොහඳුරු ඇත්තේය. මැනවින් රැකීම් වශයෙන් (තෘෂ්ණා) නදී තොමෝ වියලන ලද්දීය. බොහෝ කලකට පසු නිර්මලවූ නිවන සාක්‍ෂාත් කරන ලදී. ඥානමයවූ දිව්‍ය චක්‍ෂුසය බොහෝ කලකට පසු ලබන ලදී.
’’ගෞතමයන් වහන්ස, බොහෝ කලකට පසු ඔබවහන්සේ සමග එක්වූයේ වෙමි. (පෙර එක්ව සිට) නැවත අතරතුර බොහෝ කලක් (ඔබෙන් වෙන්ව) නටුයේ වෙමි. නැවත (පෙර මෙන්) අද ඔබවහන්සේ සමග එක්වූයේ වෙමි. කරනලද කර්‍මයෝ විනාශ නොවෙත්.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පටි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ධම්මරුචියත්ථෙරස්සාපදානං නවමං.