ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
10. සාලමණ්ඩපිය ථෙරාපදානය
’’සල් වනයට පිවිස මට අසපුවක් කරනලදී. එකල්හි සල්මල්වලින් ගැවසීගත්තේ එම වනයෙහි වෙසෙමි.
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජතෙම විවේක සැප කැමැත්තේ, සල් වනයට එළඹිසේක.
’’මම අසපුවෙන් නික්ම වනයට ගියෙමි. එකල්හි මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිදීමි.
’’එම වනයෙහි බබලන්නාවූ, වැඩහුන්නාවූ සමාධියට සමවන්, මහත් යසස් ඇති පියදස්සී සම්බුදුරජුන් දුටිමි.
’’මම බුදුරජුන් (සිටින තැන වැසෙන සේ එයට) මතුයෙහි (දඬු සතරක් එකට තබා කෙළවරකින් එකට බැඳගත්) චතුර්දණ්ඩය තබා, මනා මඩුවක් කොට සල් මල්වලින් ගැවසීමි.
’’මම සල්මල්වලින් වසන ලද මණ්ඩපය සතියක් දරා එහි සිත පහදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
’’පුරුෂොත්තමවූ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලනුයේ වැඩහුන්සේක.
’’පියදස්සී බුදුරජුන්ගේ වරුණ නම් ශ්‍රාවකතෙමේ ලක්‍ෂයක් රහතුන් සමග බුදුරජුන් වෙත එළඹියේය.
’’පස්මරුන් දිනූ, ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවත් තෙමේ බික් සඟන මැද හිඳ සිනා පහළ කළ සේක.
’’පියදස්සී බුදුරජුන්ගේ අනුරුද්ධ නම් උපාසක තෙමේ සිවුරු එකස්කොට බුදුරජුන්ගෙන් (මෙසේ) විචාළේය.
’’භාග්‍යවතුන් වහන්සේ, ශාස්තෘවූ ඔබවහන්සේගේ සිනා පහළකිරීමට හේතුව කිම? ශාස්තෘ තෙමේ කරුණක් ඇති කල්හිම සිනා පහළකරන්නාහ.’’ (කියායි.)
’’යම් මානවකයෙක් තෙම සතියක් මුළුල්ලෙහි මට මල් කෙවෙනියක් දැරීද, ඔහුගේ (ඒ) කර්‍මය සිහිකොට මම සිනා පහළ කෙළෙමි.
’’යම් තැනක (එම) පිණ විපාක දේ නම් (එබඳු) ඉඩ ඇති තැනක් මම නොදකිමි. දෙව්ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ ඇති අවකාශයද නොසෑහේ.
’’පුණ්‍යකර්‍මය හා යෙදුනාවූ දෙව්ලොව වසන ඔහුගේ පිරිස යම්තාක් නම් (ඒතාක්) එම පිරිස් තොමෝ සල් සෙවනයෙන් වසනලද්දී වන්නීය.
’’පූර්‍වකර්‍ම විපාකය සහ යෙදුනේ එහි දිව්‍යමයවූ නෘත්‍යයන්ගෙන්ද හැම කල්හි සිත් අලවා වසන්නේය.
’’ඔහුගේ පිරිස යම්තාක් නම් (ඒතාක්ම) සුගන්ධයන්ගෙන් සුගන්ධවත් වූයේ වන්නේය. එකෙණෙහි මල් වැසිද වසින්නේය.
’’මේ මිනිස්තෙම (එසේ) දෙව්ලොවින් චුතව (නැවත) මිනිසත් බවට පැමිණෙන්නේ නම් මේ මිනිස් ලොවෙහිද හැමකල්හිම සල්මල් සෙවෙනියක් දරන්නේය.
’’මෙහි කයිතාලම්වලින් යුත් නැටුම්ද, ගැයුම්ද මා නිතර පිරිවරන්නාහුය. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’හිරු උදාවන කල්හි සල්මල් වැසි වසී. පුණ්‍ය කර්‍මය හා සංයුක්තවූ ඔහුට (එම වැසි) සර්‍වකාලිකව වසී.
’’අටළොස් සියවන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නාහ.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙහිම නිර්මිතකළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්‍ර වූයේ, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවෙන්නේය.
’’ධර්‍මය අවබෝධ කරන්නාවූ මොහුට සල්මල් සෙවෙනියක් වන්නේය. පිරිනිවීමෙන් පසු චිතකය දැවෙන කල්හිද සෙවෙනිය වන්නේය.
’’මහාමුනිවූ පියදස්සී බුදුරජතෙමේ (මෙම පුණ්‍ය කර්‍මයෙහි) විපාකය වදාරා, දහම් වැස්සෙන් වැසීමට පත්කරමින් පිරිසට දහම් දෙසූහ.
’’මම දෙවියන් අතරෙහි තිස්කපක් දිව්‍ය රාජ්‍යය කරවීමි. සත්සැට වරක් සක්විති රජ වීමි.
’’දෙව්ලොවින් මෙහි පැමිණ මහත්වූ සැප ලබමි. මෙහිද සර්‍වකාලිකවූ සල්මල් සෙවෙනියක් වන්නේය.
’’ශාක්‍යකුළ ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් තුටුකොට ජය පරාජය හැර අචල ස්ථානයවූ නිවණට පැමිණියේ වෙමි.
’’අටළොස් සියවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලමණ්ඩපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලමණ්ඩපියත්ථෙරස්සාපදානං දසමං.
පංසුකූලවග්ගො එකූනපඤ්ඤාසමො.