ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

50. කිඞ්කනි පුප්ඵිය වග්ග

1. තිකිඞ්කණි පුප්ඵිය ථෙරාපදානය

’’කිණිහිරි රුකක් මෙන් බබලන්නාවූ, කඳු අතරෙහි වැඩ හුන්නාවූ, ලෝක නායකවූ, කෙළෙස් විරහිත විපස්සී බුදුරජුන් දුටිමි.

’’කිංකණි පුෂ්ප තුණක් ගෙන (එම බුදුරජුන්හට) පිදීමි. සම්බුදුරජුන් පුදා දකුණු දිගට මුහුණ ලා යෙමි.

’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’මින් එක් අනූවන කපෙහි යම් බුද්‍ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කනි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

තිකිඞ්කණිපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.