ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

50. කිඞ්කනි පුප්ඵිය වග්ග

3. කොරණ්ඩ පුප්ඵිය ථෙරාපදානය

’’මම පෙර පිය මුතුන් පරපුරෙහි පටන්ම වනයෙහි කටයුතු කරන්නෙක් වීමි. සිව්පා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුසලයක් නැත.

’’මාගේ අසපුව අබියෙස පසැස් ඇති, ලෝකාග්‍රනායකවූ තිස්ස බුදුරජතෙමේ අනුකම්පාවෙන් පියවර තුණක් දැක්වූහ.

’’තිස්ස බුදුරජුන්ගේ තබනලද පියවර සටහන් දැක සතුටුවූයේ, සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැදවීමි.

’’පිපීගිය කරඬු ගසක් දැක, කොපුව සහිතවම (එම මල්) ගෙන ශ්‍රීපාද ලාංඡනය පිදීමි.

’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’මම දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, ප්‍රභා සහිතවූ, කොරණ්ඩ පුෂ්ප වර්‍ණවූ සිවි ඇත්තේ වෙමි.

’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසන වීජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.