ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
50. කිඞ්කනි පුප්ඵිය වග්ග
8. පුලින ථූපිය ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයක් විය. (එහි) මට මැනවින් කරන ලද අසපුවක් විය. පන්සැලක්ද මොනවට නිම කරන ලදී.
’’(මම) නම්න් නාරද නම්වූ, උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස් දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
’’මම එකල්හි විවේකව හුන්නේ, මෙසේ සිතීමි. සියළු ජන තෙමේ මා පුදයි. මම (කිසිවෙකුට) කිසිවක් නොපුදමි.
’’මට කිසි ඔවා දෙන්නෙක්ද නැත. (කිසිවෙකුට කරන) කිසි වතාවතකුදු නැත. මම ආචාර්‍ය්‍ය, උපාධ්‍යාය විරහිතව වනයෙහි වෙසෙමි.
’’මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ (මා කෙරෙහි) ගුරුවරයෙක යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයෙහි විසීම නිරර්ත්‍ථකය.
’’මම එසේ ගරුභාවනීයවූ උතුමෙකු සොයන්නෙමි. (එබඳු උතුමෙකු) ඇසුරු කෙළේ වසමි. එවිට (කිසිවෙක්) (මට) නොගරහන්නේය.
’’නොගැඹුරු ඉවුරු ඇති, මනාවූ කුඩා තොටුපොල ඇති, මනොඥවූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය.
’’(එය) අමරිකා නම්වූ නදියකි. එකල්හි මම (එතැනට) එළඹ, වැලි එකතුකොට වැලි සෑයක් (පුලින චෛත්‍යයක්) කෙළෙමි.
’’භවය කෙළවර කරන්නාවූ යම් ඒ සර්‍වඥ මුනිවර කෙනෙක් වෙත් නම් මෙබඳුවූ සෑයක් (තනන්නේ) උන්වහන්සේ නිමිතිකොට මම මේ සෑය කරමි.
’’වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්‍ණ නිර්‍මාණය කෙළෙමි. රන් කිකිණි මල් තුන් දහසක් පූජා කෙළෙමි.
’’හටගත් ප්‍රීති ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ සවස හා උදයෙහි නමදිමි. සම්බුදුන් හමුයෙහිදී මෙන් පුලින චෛත්‍යය (වැලි සෑය) වඳිමි.
’’යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්‍කයෝ හටගනිත්ද, එකෙණෙහි සර්‍වඥ ස්ථූපය සිහි කරමි. ප්‍රත්‍යවෙක්‍ෂා කරමි.
’’සාර්ත්‍ථවාහකවූ, විනායකවූ බුදුරජුන් ඇසුරුකොට වසන්නේ, ක්ලේශයන්හි ගැටී වසන්නෙහි නම් නිදුකාණෙනි, (එය) ඔබට නුසුදුසුය.
’’එකල්හි සෑය සිහිකළ කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළන ලද ඇතෙකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
’’මෘත්‍යුරාජයා මෙසේ වසන්නාවූ මා වැසීය. මම එහි කළුරිය කළේ, බඹලොවට ගියෙමි.
’’මම එහි දිවි ඇතිතාක් වසා, තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි.
’’මම තුන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
’’මම එම පිදූ කිංකිණි පුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහිදී සියක් දහසක් කිරි මව්වරු මා පිරිවරත්.
’’සෑය පිළිදැගුම් කරන ලද බැවින් දැලි කුණු නොතැවරේ. සිරුරෙහි ඩහ නොවැගිරෙයි. මම ප්‍රභා සහිත (පැහැපත්) වූයේ වෙමි.
’’ආශ්චර්‍ය්‍යයකි, මා විසින් මැනවින් කරන ලද සෑයකි. (එසේම) ඇමෙරිකා නදියද මැනවින් දක්නා ලදී. වැලිතලාවෙහි සෑයක් කොට අචලපදය වූ නිවණට පැමිණියේ වෙමි.
’’කුසල් කරනු කැමැත්තාවූ (නිර්‍වාණ) සාරය ගන්නාවූ සත්ත්‍වයා විසින් (එයට) මෙය කෙතය, මෙය නොකෙතයයි (වෙන්කොට ගතයුත්තක්) නැත. ප්‍රතිපත්ති තොමෝම අර්ත්‍ථසාධක වන්නීය.
’’බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේද, යම්සේ (හේ) කුඩා දඬු කැබැල්ලක් ගෙන මහ සයුරට පණින්නේ නම්, මම මේ දඬු කැබෙල්ල නිසා මහ සයුර තරණය කරන්නෙමැයි උත්සාහයෙන්ද, වීර්‍ය්‍යයෙන්ද (එම) මනුෂ්‍යතෙම සයුර කරණය කරන්නේය.
’’එසේම මා විසින් යම් කර්‍මයක් කරන ලද නම් (එය) කුඩාය. ඉතාම සුළුය. (එහෙත්) එම කර්‍මය නිසා සසර ඉක්මවීමි.
’’එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, අන්තිම භවය පැමිණි කල්හි, පළමුකොටම සැවැත්නුවර ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ (වෙමි.)
’’මාගේ දෙමාපියෝ සැදැහැත්තාහුය. බුදුරජුන්ගේ සරණ ගියෝය. මේ දෙදෙනාම දක්නා ලද (නිර්වාණ) පදය ඇත්තෝය. ශාසනයටද අනුව පවතිත්.
’’(ඔවුහු) බෝධියෙහි පතුරක් ගෙන රන් සෑයක් කරවූහ. බුදුරජුන්ගේ හමුවෙහි උදේ සවස නමස්කාරද කෙරෙත්.
’’පොහෝ දිනයෙක්හි ස්වර්‍ණ ස්තූපය පිටතට ගන්නාහුය. බුදුරජුන්ගේ ගුණ කියමින් ත්‍රියාම රාත්‍රියම ගත කළාහුය.
’’මම (ස්වර්‍ණ) ස්තූපය දැක, ඒ සමගම පුලින චෛත්‍යය (අතීතයෙහි පිදූ වැලි සෑය) සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
දෙවිසිවන බණ වරයි.
’’එම වීරවූ ( බුදුරජුන්) සොයන්නේ, ධර්‍ම සේනාපතීන් වහන්සේ (සැරියුත් තෙරුන්) දුටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේගේ සමිපයෙහි පැවිදිවීමි.
’’උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම (මාගේ) ගුණ දැන (මා) උපසම්පදා කරවූහ.
’’මා විසින් දඟර කල්හිම (මාගේ) (නිවන් සඳහා කළයුතු) කටයුතු නිමකරන ලදී. ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දෙය අද මා විසින් කරන ලදී.
’’මහා වීරවූ ඎෂීන් වහන්ස, සියළු මෛර හා භය ඉක්මවන ලදුයේ වෙමි. සියළු කෙලෙසුන්ද ඉක්මවන ලදුයේ වෙමි. (මම) ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණ පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින ථූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුලිනථූපියත්ථෙරස්සාපදානං අට්ඨමං.