ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

50. කිඞ්කනි පුප්ඵිය වග්ග

9. නළකුටි දායක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයක් විය. එකල්හි සියල්ල තෙමේම දත් නාරද බුදුරජතෙම රුක් මුලක වැඩ විසූහ.

’’මම බටවලින් කුටියක් කොට තෘණවලින් සෙවෙනි කෙළෙමි. (එසේම) මම සක්මනක්ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.

’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.

’’බටවලින් කළ කුටිය පිදීම හේතුකොගෙන එහි (දෙව්ලොව) මට මැනවින් කරන ලද නිර්මිතවූ විමානය සැට යොදුනක් උසය. තිස් යොදුනක් පුළුලුය.

’’මම තුදුස් කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. එක් සැත්තෑවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.

’’මම සූතිස්වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නොහැකිය.

’’සියළු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්‍ම නමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි මම කැමතිතාක්ම වසමි.

’’මින් තිස් එක්වන කපෙහි වු එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බටින් කළ කුටියක් පිදීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළකුටි දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

නළකුටිදායකත්ථෙරස්සාපදානං නවමං.