ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

1. තිකණිකාර පුප්ඵිය ථෙරාපදානය

’’දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්‍වඥවූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ, විවේක සැප කැමැත්තේ හිමවතට එළඹිසේක.

’’පුරුෂොත්තමවූ, අග්‍රකාරුණීක බුදුරජතෙම හිමවතට පිවිස පර්‍ය්‍යඞ්කයක් බැඳගෙන (එරමිණිය ගොතාගෙන) වැඩහුන්සේක.

’’මම එකල්හි අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි. එකල්හි මැනවින් කරන ලද ත්‍රිශූලායුධයක් ගෙන අහසෙහි යමි.

’’කඳු මුදුනෙක්හිවූ ගින්නක් මෙන්ද, පසළොස්වක් පොහෝ දිනයෙහි සඳු මෙන්ද, පිපීගිය සල් රුකක් මෙන්ද බුදුරජතෙම (මෙම) වනයෙහි බබලයි.

’’වාත මුදුනෙන් නික්ම බුද්‍ධ රශ්මීහු පැතිරෙත්. බට වනයෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන එම රශ්මිය) දැක සිත පැහැදවීමි.

’’(ඒ මේ අත) සොයන්නේ, දිව්‍යමය සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. එම මල් තුණක් ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.

’’එකල්හි මා විසින් (පුදන ලද) එම ත්‍රි පුෂ්පයෝ (මල් තුණ) බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් නැටි උඩුකුරුව, පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’එහි මැනවින් කරණ ලද මාගේ විමානය කණිකාරියයි හඟිනු ලැබේ. (එය) හැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලුය.

’’දහසක් කොටස් (බෙදුම්) ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. ධජයන්ගෙන් යුක්තය. කොළවන්ය. මුදුන් ගෙවල් සියක් දහසක්ද මාගේ විමණෙහි පහළවූහ.

’’කැමතිවන ලද්දාවූ රිසියෙනතාක් රන්මුවාවූද, මිණිමුවාවූද, පියුමරාමිණිමුවාවූද, පිළිමිණිමුවාවූද, පර්‍ය්‍යඞ්කයෝ (එහි) වෙත්.

’’(පුළුන්) මෙට්ට වර්‍ගයන්ගෙන් යුතුවූද, දෙදාය ඇතිරිය, එකදාය ඇතිරිය, බිම්බොහන යන මේවායින්ද යුතුවූ මාහැඟි සයනයෝද එහි වෙති.

’’යම් කලෙක්හි භවනයෙන් නික්ම, දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව, දිව්‍ය චාරිකාවෙහි හැසිරෙමින් ගමන් කිරීම කැමැත්තෙම්ද,

’’(එකල්හි) මල් යට සිටිමි. මාගේ මස්තකයෙහි වියනකි. (එය) හාත්පස යොදුන් සියයක් (තැන්) කිණිහිරි මල්වලින් වසන ලද්දකි.

’’සැට දහසක් තූර්‍ය්‍යයෝ උදය - සවස උවැටැන් කළාහුය. (ඔවුහු) රෑ දාවල් දෙක්හි අනලස්ව, නිරතුරුව මා පිරිවරත්.

’’එහි නෘත්‍යයන්ගෙන්ද, ගීතයන්ගෙන්ද, තාලයන්ගෙන්ද, වාදිතයන්ගෙන්ද යන ක්‍රීඩා රතියෙන් සිත් අලවා වසමි. මම කැමති පරිදි සතුටු වෙමි.

’’එකල්හි එම තව්තිසාවෙහි අනුභවකොටද, පානයකොටද තුටුවෙමි. උතුම්වූ විමනෙහි (දිව්‍ය) ස්ත්‍රී සමූහයා සමග සතුටුවෙමි.

’’මම පන්සියවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. තුන්සිය වරක් සක්විති රජවීමි.

’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. මම කුදු මහත් භවයෙහි හැසිරෙන්නේ, මහත්වූ භෝග සම්පත් ලබමි.

’’මාගේ භෝග සම්පත්තියෙහි අඩුබවක් නැත. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි. කැත්කුලයෙහිද, බමුණු කුලයෙහිද, යලි මිනිස් අත්බැව්හිද, යන දෙඅත්බැව්හි සැරිසරමි.

’’අනික් ගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. කැත් කුලයෙහිද, බමුණු කුලයෙහිද යන මේ දෙකුලයෙහි උපදිමි.

’’පහත් කුලයෙහි නොඋපදිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. හස්තියානද, අශ්වයානද, සිවිකාද, සන්‍දමාතික නම් යාන විශෙෂයද,

’’යන මේ සියල්ල ලබමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. දාසි සමූහයාද, දාස සමූහයාද සරසන ලද ස්ත්‍රීන්ද,

’’යන මේ සියල්ල ලබමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. කොසෙය්‍යද, කම්බිලිද, කොමු හා කපු පිළිද,

’’යන මේ සියල්ල ලබමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. අභිනව වස්ත්‍රද, අභිනව ඵලද, අභිනව අග්‍රරස භෝජනද,

’’යන මේ සියල්ල ලබමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සයනය කරව,

’’යන මේ සියල්ල ලබමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි. හැම තන්හි පුදන ලදුයේ වෙමි. මාගේ කීර්තිය උස්ව පැන නැංගේය.

’’හැමකල්හි මහත්වූ පක්‍ෂපාත පිරිස් ඇත්තේ වෙමි. නෑයනට උතුම් වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සීතයද, ඌෂ්ණයද (කුමක්දැයි) නොදනිමි. පරිඩාහයක් (දැවිල්ලක්) නැත. යලි මාගේ හෘදයෙහි චෛතසීක දුකක්ද නැත.

’’කුදු මහත් භවයෙහි ස්වර්‍ණ වර්‍ණව සැරිසරමි. විවර්‍ණ බවකුත් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’කුඍල මූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුතව සැවැත් පුරයෙහි ඉතා ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,

’’පස්කම් ගුණ හැර අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. උපතින් සත් හැවිරිදිවූ මම රහත් බවට පැමිණියෙමි.

’’පසැස් ඇති බුදුරජතෙම ගුණ දැන (මා) උපසම්පදා කරවූහ. මම තරුණවූ පිදිය යුත්තෙක් වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ දිවැස පිරිසිදුය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. අභිඥායෙහි කෙළ පැමිණියේ වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’පැමිණි ප්‍රතිපදා ඇත්තේ වෙමි. ඎද්ධිපාදයන්හි දක්‍ෂවූයේ වෙමි. ධර්‍මයන්හි කෙළ පැමිණියේ වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මෙයින් කල්ප තිස් දහසකට පෙර යම් ඒ බුදුරජාණන් වහන්සේ නමකට මනාකොට පිදීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණිකාර පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

තිකණිකාරපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.