ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

2. එකපත්ත දායක ථෙරාපදානය

’’මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙක් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.

’’මම මැනවින් කරන ලද මැටි පාත්‍රයක් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. (කාය වඞ්කාදියෙන් තොර බැවින්) ඎජුවූ තාදී ගුණ ඇති බුදුරජුන්හට පාත්‍රය දී,

’’භවයෙහි උපදිනු ලබන්නාවූ මම රන් තලි ලබමි. රජතමයවූද, ස්වර්‍ණමයවුද, මිණිමයවූද,

’’පාත්‍රද පරිභෝග කරමි. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි. මම යසසටද, ධනයටද හිමිවූයේ වෙමි.

’’යම්සේ සොඳුරු (සාරවත්) කෙතෙක රෝපනය කරන ලද ස්වල්පවූද බීජය මැනවින් වැසි ලැබෙන කල්හි (එහි) ශෂ්‍ය ඵලය ගොවියා සතුටු කෙරේද,

’’එසේම බුද්ධ ක්‍ෂෙත්‍රයෙහි රෝපනය කරන ලද මෙම පාත්‍ර දානය (බීජය) නමැති වැසි වස්නා කල්හි (එහි) (විපාක) ඵලය මා සතුටු කරන්නේය.

’’සඞ්ඝයාවූද, ගණයාවූද යම්තාක් (පුණ්‍ය) ක්‍ෂෙත්‍රයෝ විද්‍යමාන වෙත්. නමුදු සව්සත්නට සුව දෙන්නාවූ බුද්ධ ක්‍ෂෙත්‍රය සමාන කෙතක් (නම්) නැත.

’’පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. එක පාත්‍රයක් දී අචල පදයවූ නිවණට පැමිණියේ වෙමි.

’’මින් එක් අනුවන කපෙහි වූ එකල්හි යම් පාත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපත්ත දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

එකපත්තදායකත්ථෙරස්සාපදානං දුතියං.