ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
51. කණිකාර වග්ග
9. තාලඵලදායක ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසි නම් භාග්‍යවත් තෙමේ විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩි සේක.
’’මම (තථාගතයන්) දැක, (තල්) ගෙඩියක් ගත් අත් ඇතිව එම බුදුරජුන් වෙත එළඹියෙමි. (එසේම) මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එම) තල්ගෙඩිය දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලඵලදායකත්ථෙරස්සාපදානං නවමං.