ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

10. නාලිකෙර දායක ථෙරාපදානය

’’එකල්හි මම බන්ධුවතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නාවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.

’’මම නාළිකෙර ඵලයක් (පොල් ගෙඩියක්) ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජතෙමේ අහසෙහි සිටියේම එය පිළිගෙන වදාළ සේක.

’’මට ප්‍රීතිය උපදවන්නාවූ, මෙලෙව්හිදීම සුව එලවන්නාවූ (එම) ඵලය පැහැදි සිතින් බුදුරජුන්හට දී,

’’එකල්හි මහත්වූ ප්‍රීතියටද, උතුම් සැපයටද පැමිණියෙමි. ඒ ඒ තන්හි මට රුවන් පහළවේ.

’’මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් නාලිකේර ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාලිකෙර දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

නාළිකෙරඵලදායකත්ථෙරස්සාපදානං දසමං.

කණිකාරවග්ගො එකපඤ්ඤාසමො.