ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

52. කුරඤ්ඡිය වග්ග

1. කුරඤ්ඡියඵලදායක ථෙරාපදානය

’’මම පෙර වනයෙහි සැරිසරන්නාවූ වැද්දෙක් වීමි. සියළු දහම්හි කෙළපත්, කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.

’’මම කුරඤ්ඡිය ඵලයක් ගෙන වීරවූ, පුණ්‍යක්‍ෂෙත්‍රවූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන්වූයේ, සියතින් දුනිමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුරඤ්ඡියඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කුරඤ්චියඵලදායකත්ථෙරස්සාපදානං පඨමං.