ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

52. කුරඤ්ඡිය වග්ග

6. අජ්ජුන පුප්ඵිය ථෙරාපදානය

’’එකල්හි (මම) චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, සියල්ල තෙමේම දත්, පස්මරුන් දිනූ බුදුරජුන් දුටිමි.

’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, හටගත් ප්‍රීති ඇත්තේ, කුඹුක් මලක් ගෙන බුදුරජුන් පිදීමි.

’’මැනවින් කරන ලද කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මම කිඳුරු සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’සතිස් වරක් දෙවෙන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. දස වරක් චක්‍රවර්ති මහා රාජ්‍යය කරවීමි.

’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සර්‍වඥවූ මහා පින්කෙතෙහි මා විසින් වපුල බිජුවට ආශ්චර්‍ය්‍යයකි.

’’මාගේ කුශලය (තවත්) විද්‍යමානවේ. අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි. මම අද ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජ්ජුන පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අජ්ජුනපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.