ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
52. කුරඤ්ඡිය වග්ග
7. කුටජ පුප්ඵිය ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එම) අතරෙහි සුදස්සන නම් බුදුරජතෙමේ වැඩ වෙසෙති.
’’මම හිමවතෙහි හටගත් මල් ගෙන අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් දුටුවෙමි.
’’කෙළිඳ මල් ගෙන, හිසෙහි ඇඳිලි බැඳ, සියල්ල තෙමේම දත් මහර්ෂිවූ බුදුරජුන්හට පිදීමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුටජපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.