ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

4. අබ්භඤ්ජන දායක ථෙරාපදානය

’’මම බන්ධුමතී නගරයෙහි රජ උයනෙහි වසමි. එකල්හි මම දහම් කරකය (පැන් කෙණ්ඩිය) දරන්නාවූ සම් හඳින්නෙක් වීමි.

’’(එහිදී) සියල්ල තෙමේම දත්තාවූ, පස් මරුන් ජයගත්තාවූ, වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති, ධ්‍යාන කරන්නාවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ (පඤ්ච) වශීතාවන්ගෙන් යුක්තවූ, නිර්‍මලවූ බුදුරජුන් දුටිමි.

’’සියළු අභිමතාර්ත්‍ථයන් සමෘද්‍ධ කළාවූ, චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ඇඟ ගල්වන තෙලක් දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (අබ්භඤජන) ඇඟ ගල්වන තෙල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අබ්භඤ්ජන දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අබ්භඤ්ජනදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.