ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
6. බාහිය ථෙරාපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍රවූ, නම්න් පදුමුත්තර නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’එකෙනෙහි දහම් අවබෝධ කරන බැවින්) ක්‍ෂිප්‍රාභිඥවූ භික්‍ෂුවකගේ ගුණයට පසසන බුදුරජුන්ගේ (දෙසුම) අසා ඔදවැඩි සිත් ඇති මම මහාර්ෂීවූ (එම) බුදුරජුන්හට පුද සත්කාරකොට-
’’එකල්හි මම සිසුන් (ශ්‍රාවක සංඝයා) සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී, සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
’’ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසූහ. ’මාගේ පාමුල වැටුනාවූ, පහන්වූ ඇස් හා මුහුණු ඇති, රන්හුයින් යාගයෙහිදි දැමූ පූනනූල් සහිත සිරුරු ඇති, සුදු පැහැ ඇඟ සිවි ඇති, එල්බෙන (ඉදීමෙන්) රතු බිඹුඵල වැනි දෙතොල් ඇති, මුවහත් තියුණු අවියකින් (මැද) සමකළාක් වැනි දත් ඇති, අති බොහෝවූ ගුණය හා බලය ඇති, මැනවින් උඩට නැඟුණාවූ ඌර්ධවාග්‍ර රෝම ඇති, ගුණ නමැති සැඩපහරට ස්ථානයක්වූ, ප්‍රීතියෙන් මැනවින් පුබුදුව ගිය මුහුණු ඇති මෙම බමුණා (දෙස) බලව්.
’’මෙතෙම ක්‍ෂිප්‍රාභිඥා (එකෙණෙහි දහම් අවබෝධ කරන්නාවූ) භික්‍ෂුවගේ (එම) තනතුර පතයි. අනාගතයෙහි ගෞතම නම් බුදුරජතෙම(ලොව පහළ) වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් බාහිය නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
’’එකල්හි ඉතා සතුටුවූයේ නැගිට දිවි ඇතිතාක් බුදුරජුන්හට සත්කාරකොට (ඉන්) චුතවූයේ සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
’’මම එම කර්‍මයාගේ බලයෙන් දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ සුඛිතවූයේ සැරිසරා සම්පත් අනුභව කෙළෙමි.
’’යලි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,
’’පිරිසිදු සිල් ඇති, ප්‍රඥාවෙන් යුතුවූ, බුදුසසුන් කරන්නාවූ (අපි) පස්දෙනෙක් ඉන් චුතවූවාහු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමු.
’’ඉක්බිති හාරුකච්ඡ නම් උතුම් නගරයෙහි මම උපන්නේ ’’බාහික’’ (නමැත්තේ වීමි.) අනතුරුව නැවකින් අප්‍රකට සයුරට පිවිසියේ,
’’ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේය. එකල්හි (දැති) මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය)යනට ආකරවූ ඝොර බිරුම් (සයුරෙහි) වැටුනේ,
’’එකල්හි මම වෑයම්කොට මහසයුර තරණයකොට (වෙහෙස කරණකොටගෙන) මඳවූ නුවණැත්තේ උතුම් සුප්පාරක පටුනට පැමිණියේ,
’’සිහින් දර පතුරුවලින් ගොතා කළ වස්ත්‍රයක් හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි (එම ගමෙහි) එම ජන තෙමේ තුටුවූයේ මෙසේ කීය. ’’මේ රහත් කෙනෙක් මෙහි පැමිණියේය.
’’අපි මොහුට ආහාරයෙන්ද, පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සයනයෙන්ද, බෙහෙතින්ද සත්කාරකොට සැප ඇත්තෝ වෙමු’’ (කියායි.)
’’එකල්හි ප්‍රත්‍යලාභීවූයේ එම ගම්වැසියන් විසින් පුද සැළකිළි කරන ලදුයේ මම රහතෙක් වීමි. නුනුවණින් අදහසක් ඉපිදවීමි.
’’ඉක්බිති පෙර එකට මහණදම් පුරමින් සිට බඹලොව උපන් අනාගාමි බ්‍රහ්ම දේවතාවෙක් මාගේ සිත දැන, ’’තෝ (නිර්‍වාණගාමී) උපාය මාර්‍ගය දන්නෙක් නොවෙහිය. තෝ කවර හෙයකින් රහතෙක් වෙහිදැ’’ යි චෝදනා කෙළේය.
’’ඔහු විසින් චෝදනා කරන ලද මම කලකිරුනේ, එකල්හි ඔහුගෙන් (මෙසේ) විචාළෙමි. ’’මේ රහත්හු නම් කවරහු වෙත්ද, ඒ නරෝත්තමවූ රහත්හු ලෝකයෙහි කොහි වෙසෙත්ද?’’ (කියායි.)
’’සැවැත්නුවර කොසොල් (රජ) මැදුරෙහි, සම්පූර්‍ණවූ ප්‍රඥා ඇති, උතුම්වූ මහා නුවණැති, ආශ්‍රව රහිතවූ (රහත්වූ) ඒ ශාක්‍ය පුත්‍රවූ බුදුරජතෙමේ රහත්බවට පැමිණීම පිණිස දහම් දෙසත්.
’’එකල්හි ඔහුගේ වචනය අසා ලබන ලද නිධායනයත් ඇති දුගියෙකු මෙන් අතිශයින් පිණාගියේ, ඉතා විෂ්මය පත්වූයේ, ඔදවැඩි සිත් ඇත්තේ, අතිශයින් දැකුම්කළුවූ, අනන්තවූ, සත්ත්‍ව-සංස්කාර අවකාශ ලෝකයන් විෂයයෙහි විනිවිද ගිය නුවණ ඇති, අර්හත්වූ, උතුම්වූ බුදුරජුන් දැකීමට,
’’එකල්හි ඉන් වහා නික්ම, පිරිසිදු මුහුණක් ඇති බුදුරජුන් කවදා දකිම්දැයි රම්‍යවූ විජිත නම් වනයට එළඹ, ලෝක නන්‍දනවූ බුදුරජුන් කොහිදැයි බමුණන්ගෙන් විචාළෙමි.
’’ඉක්බිති (ඔවුහු) මෙසේ කීහ. දෙවි මිනිසුන් විසින් වඳින ලද්දාවූ බුදුරජතෙම පිඬු සිඟීමෙහි අදහස් ඇත්තේ නගරයට පිවිසි සේක. ඉදින් වහා බුදුරජුන් දැකීමෙහි උත්සාවත්වූයේ (වෙහි නම්) ඒ අග්‍ර පුද්ගලවූ බුදුරජුන් වෙත එළඹ වඳුව’’ (කියායි.)
’’ඉක්බිති මම වහා උතුම්වූ සැවැත්නුවරට ගොස් ගිජුකම හා ආශාවෙන් තොරව පිඬු පිණිස හැසිරෙන්නාවූ එම බුදුරජුන් දුටිමි.
’’(වාත්‍රිංශද්වර අශීත්‍යනු ව්‍යඤ්ජන) ශ්‍රීයගේ නිවාසස්ථානය මෙන් බබලන සූර්‍ය්‍යයාගේ දිප්තියට බඳු දීප්තිමත් මුහුණු ඇති, නිසසල ඇස් ඇති, අමා බෙදන්නෙකු මෙන් පාත්‍රගත් අත් ඇති,
’’එම බුදුරජුන් වෙත එළඹ මම පාමුල වැටී, ’’උවදුරු සහිත මාර්‍ගයෙහි මංමුලාවී නටුවහුට ගෞතමයන් වහන්ස, පිහිටවනු මැනව’’යි මෙම වචනය කීමි.
’’මම සත්ත්‍වයින් සසර සයුරින් එතර කිරීම පිණිස පිඬු පිණිස හැසිරෙමි. තට ධර්‍ම කථාවට කාලය නොවේවා’’ යයි (විපස්සී බුදුරදුන් පටන්) සත්වැනි මුනිවූ බුදුරජතෙමේ වදාළ සේක.
’’එකල්හි දහම්හි ලොල්වුයේ, නැවන නැවතත් බුදුරජුන් අයැදීමි. එම බුදුරජතෙම ගැඹුරුවූ, ශූන්‍යතා ලක්‍ෂණවු, නිර්‍වාණ පදයවූ ධර්‍මය මට දෙසීය.
’’(මම) පිරිහුනු ආයුෂ ඇත්තේ, උන්වහන්සේගේ ධර්‍මය අසා ආශ්‍රවක්‍ෂයවූ නිවණට පැමිණියෙමි. (අසරණ යනට) අනුකම්පා කරන්නාවූ ශාස්තෘන් වහන්සේ ආශ්චර්‍ය්‍යසේක් මැයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද, සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බාහිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක.
’’භූතාවිෂ්ඨවූ දෙනක විසින් (පහරදී) කසලගොඩට හෙලනු ලැබූ බාහිය දාරුචීරිය තෙමේ මෙසේ තමාගේ වචනය පිළිබඳ තොරතුරු පැවසීය.
’’මහ නුවණැති ඒ වීරවූ දාරුචීරය තෙමේ උතුම් සැවැත්පුරයෙහිදී තමාගේ පෙර සිරිත පවසා පිරිනිවන් පෑවේය.
’’නුවරින් නික්මෙන්නාවූ (විපස්සී බුදුරදුන් පටන්) සත්වැනි ඎෂිවූ, ගෞතම බුදුරජතෙමේ, සිහින් දර පතුරුවලින් ගොතා කළ වස්ත්‍රයක් දරන්නාවූ, නැණවත්වූ, බැහැර කරන ලද බාහිර වචන ඇති, බිම වැටුනාවූ, දැමුනාවූ, වැටුනු ඉන්‍ද්‍ර කේතු (වල්ගාතරු)වක් වැනිවූ, අවසන්වූ ආයුෂ ඇති, ඉක්මගිය කෙළෙස් ඇති, බුදුසසුන කරන්නාවූ ඒ බාහිය (තෙරුන්) දැක,
’’ඉක්බිති ශාස්තෘතෙමේ සසුනෙහි නිරත ශ්‍රාවකයන් ඇමතීය. (අමතා) මේ සමාන බ්‍රහ්මචර්‍ය්‍යය ඇත්තහුගේ සිරුර ගනිව්. ගෙනගොස් ආදාහනය කරව්.
’’සෑයක් කරව්. (ඒ සෑයටද) පුදව්. ඒ මහා නුවණ ඇත්තේ පිරිනිවන් පෑවේය. මාගේ වචනය කරන්නාවූ, සුවචවූ මේ ශ්‍රාවකතෙමේ වහා දහම් අවබෝධ කරගන්නා භික්‍ෂුන් අතුරෙන් අග්‍රය.
’’අත්‍ථ විරහිත පදයෙන් යුක්තවූ ගාථාවෝ ඉදින් දහසෙක් නමුදු (උතුම් නොවෙති.) යම් ගාථාවක් අසා (පුද්ගලතෙමේ) සන්සිඳේද, (එබඳු) එක ගාථා පදය නමුදු ශ්‍රේෂ්ඨය.
’’යම් තැනෙක්හි ආපෝ ධාතුවවූ ජලයද, පඨවි ධාතුව වූ පෘථිවියද, තේජෝ ධාතුවවූ ගින්නද, වායෝ ධාතුව වූ වාතයද, ස්ථිරව නොපිහිටා නම් එහි (ඔසධිතාරකා ආදී) පිරිසිදු රැස් ඇති වස්තූහු නොබබලත්. හිරු ප්‍රකටව නොපෙනේ.
’’එහි සඳු බබලයි. එහි අඳුරද නැත. (එසේම) යම් කලෙක්හි (බහා තබන ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණයයිද, මොන්‍යෙය ගුණයෙන් යුත් බැවින් මුනියයිද තෙමේම දැන ගත්තේ නම් එකල්හි හේ රූපාවචර ලෝකයන්ගේද, අරූපාවචර ලෝකයන්ගේද, සැපදුක්වලින් මිදේය’’ යි මෙසේ තිලොවට පිළිසරණවූ (අනාථයන්ට) නාථවූ බුදුරජතෙම වදාළ සේක.
මෙහි මේ අරින් ආයුෂ්මත් බාහිය තෙමේ මෙම ගාථාවන් වදාළ සේක.
බාහියත්ථෙරස්සාපදානං ඡට්ඨං.