ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
5. කුමාර කස්සප ථෙරාපදානය
’’මින් ලක්‍ෂයක් වන කපෙහි සියලු ලොවට හිතවූ, වීරවූ පදුමුත්තර නම් ලෝකනායක ( බුදුරජ) තෙමේ ලොව පහළවූහ.
’’එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක්ව ප්‍රකටවූයේ, දිවා විහරණයෙහි හැසිරෙන්නේ, සිව් සස් දෙසන්නාවූ, දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරන්නාවූ, මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන් පත් සව්වෙකු වර්ණනය කරන්නාවූ,
’’එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් රතු වත්වලින් සරසා, එහි සංඝයා සහිත බුදුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අග රස බොජුනෙන් වළඳවා,
’’මම නන් වන් මලින් ශ්‍රාවක සංඝයා සහිත බුදුරදුන් පුදා පාමුල වැටී එම තනතුර පැතීමි.
’’එකල්හි එම කරුණා ජලාශයක්වූ බුදුරජතෙම (මෙසේ) වදාළ සේක. ’’පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තාවූ, ප්‍රීති ප්‍රමොද්‍ය බහුලකොට ඇති, මැනවින් උඩට නැගාවූ ඌර්ධවාග්‍ර රෝම ඇති, ප්‍රීතිය අධික වීමෙන් විශාලවූ ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනාවූ, (චිත්‍ර කථික භික්‍ෂූන් අතුරෙන් අග්‍රවීමය යන මේ) එකම අතට හැරුණු මනා අදහස් ඇති මේ බමුණු උතුමා බලව්. මෙතෙම විචිත්‍ර කථිකත්‍වයවූ ඒ මේ තනතුරු පතයි.
’’මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවු, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්‍ධපුත්‍රවූ කුමාර කස්සප නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
’’(පුදන ලද) විසිතුරු පුෂ්ප වස්ත්‍රයන්ගේද, රත්නයන්ගේද බලයෙන් හෙතෙම විචිත්‍ර කථිකවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේය’’ (කියායි.)
’’මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’රඟමඬල මැදට පත් නළුවෙකු මෙන්, භවය නමැති අහසෙහි කැරකෙමින්, ශාඛ මෘග පෝතකයෙක්ව මුව දෙනෙකුගේ කුසයෙහි පිළිසිඳ ගතිමි.
’’එකල්හි මා මව්කූස පිළිසිඳ ගත් කල්හි (මවගේ) මරණයට නියමිත වාරය එළඹ සිටියේය. ශාඛ මෘගරාජයා විසින් අතහැරදමනලද මාගේ මව්තොමෝ න්‍යග්‍රොධ මෘග රාජයා පිහිටකොට ගියාය.
’’එකල්හි ඒ න්‍යග්‍රොධ මෘග රාජයා විසින් මුදාගන්නාලද ඕතොමෝ මට මෙසේ අවවාද කළාහුය.
’’න්‍යග්‍රොධ මෘගයාම සේවනය කරව. ශාඛ මෘග රාජයා සමග නොවසව. ඉදින් ශාඛ මෘග රාජයා සමග වැස යම් ජිවත්විමක් වේ නම් (එයට වඩා) න්‍යග්‍රොධ මෘග රාජයා කෙරෙහි වැස මරණය යෙහෙකි.
’’එම න්‍යග්‍රොධ මෘග රාජයා විසින් අනුශාසනය කරන ලද මමද එසේම සෙස්සෝද, දුර රටක සිටියෙක් සිය ගෙදරට එන්නාක් මෙන් රම්‍යවූ තුෂිත දෙව්ලොව විසීම සඳහා ගියෝ (වෙමු.)
’’යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,
’’දැන් මම රජගහනුවර සිටු කුලයක උපන්නේ වෙමි. කුස පිළිසිඳගත් දරු ගැබ් ඇති (එහෙත් එය නොදත්) මාගේ මව් තොමෝ අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වූවාය.
’’දරුගැබ් සහිත බව (පසුව දැන සෙසු භික්‍ෂුණීහු) ඇය දෙව්දත් තෙරුන් වෙත පැමිණවූහ. එම දෙව්දත් තෙමේ, ’’මේ පවිටු භික්‍ෂුණිය(ගේ) (සිවුරු හැරවීමෙන්) ලිඞ්ග ශාසනය කරව්’’ යයි කිය.
’’දැනුදු මුනීන්‍ද්‍රවූ බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද්දී, මාගේ මව් තොමෝ භික්‍ෂුණී ආශ්‍රමයේදීම, සුව ඇත්තී (මා) ප්‍රසූත කළාය.
’’එය දැන කොසොල් රජ තෙමේ මා කුමර පෙරහැරින් පෝෂණය කෙළේය. මම නම්න් කාශ්‍යප නම් වූයේ (ද වෙමි.)
’’මහා කාශ්‍යප තෙරුන් නිසා මම කුමාර කාශ්‍යපයයි (ප්‍රසිද්‍ධ විය.) කය තුඹසකොට සමකොට බුදුරජුන් (විසින් කළ) දෙසුම අසා-
’’එහෙයින් මාගේ සිත තෘෂ්ණාදියෙන් දැඩිකොට අල්වා ගැනීමක් නොකොට හැම ලෙසින්ම (ආශ්‍රවයන් කෙරෙන්) මිදුනේය. (මම පායාසිරාජන්‍යයා) දමනය කොට (චිත්‍ර කථික භික්‍ෂූන් අතුරෙන්) එතදග්‍ර ස්ථානයට පැමිණියෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමාරකස්සප තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුමාරකස්සපත්ථෙරස්සාපදානං පඤ්චමං.
සූවිසිවැනි බණ වරයි.