ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

54. කච්චාන වග්ග

4. දබ්බ ථෙරාපදානය

’’පසැස් ඇත්තාවූ, සව් ලෝ (මැනවින්) දත්, පස් මරුන් දිනූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.

’’(සව් සත්නට) ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (එසේම ඔවුන් සසර සයුරින්) එතර කරවන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා (සසරින්) එතර කරවූ සේක.

’’සව් සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමති වන්නාවූ, (බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටුවූහ.

’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදි ගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.

’’එම බුදුරජතෙමේ අට පණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.

’’එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ (මෙම) සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.

’’එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යසස් ඇති සිටු පුත්‍රයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි.

’’භික්‍ෂූනට සෙනසුන් පනවන්නාවූ සිය සව්වෙකුට පසසන උන්වහන්සේගේ වචන අසා සතුටුවූ මම,

’’සංඝයා සහිතවූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදීවූ) පින්කම් කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.

’’එකල්හි ඒ මහාවීරවූ බුදුරජතෙමේ මාගේ පුණ්‍ය කර්‍මයට පසසමින් මෙසේ කීහ. ’’යමෙක් තෙම සංඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳවීද,

’’(හෙළ) පියුම් පතකට බඳු ඇස් ඇති, ශ්‍රෙෂ්ඨවූ (පිරුණු) උරහිස් ඇති, රන්වන්වූ සිවි ඇති ඒ මේ සිටුපුතෙක් තෙම (මෙම) උතුම් තනතුර පතමින් මාගේ පාමුල වැටුනේද,

’’මින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ බුදුරජතෙමේ ලොව පහළ වන්නේය.

’’එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නම්න් ප්‍රසිද්‍ධවූ, සෙනසුන් පනවන්නාවූ අගසව්වෙක් වන්නේය’’ (කියායි.)

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.

’’මම තෙසියවරක් දිව්‍ය රාජ්‍යය කරවිමි. පන්සියවරක් සක්විති රජ වීමි.

’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. එම කර්‍මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තේ වීමි.

’’මින් (යට) එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු ධර්‍මයන් විදසුන් නුවණින් දක්නාවූ විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළවූහ.

’’තාදී ගුණ ඇති උන්වහන්සේගේ සියළු ආශ්‍රවයන් ක්‍ෂය කළ ශ්‍රාවකයෙකු ශුද්‍ධවූ උතුමෙකැයි දැනම දුෂ්ට සිත් ඇත්තේ නින්දා කෙළෙමි.

’’මම සළාකයක් ගෙන එම බුදුරජුන්ගේ මහර්ෂීවූ (රහත්) සව්වනට කිරිබතක් දුනිමි.

’’මම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහිවූ, මහත් යසස් ඇති, කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙමේ ලොව පහළවිය.

’’ශ්‍රාවකයන් සහිතවූ හෙතෙම මිත්‍ථ්‍යාතීර්ත්‍ථකයන් මැඩ, සසුන බබුළුවා, හික්මවියයුතු ජනයන් හික්මවා පිරිනිවන් පෑහ.

ශිෂ්‍යයන් සහිතවූ බුදුරජුන් පිරිනිවි කල්හි, සසුන පිරිහෙන කල්හි, කලකිරුණාවූ දෙවිවරු මිදූ (විසිරවූ) කෙස් ඇත්තාහු, කඳුලු පිරි මුහුණු ඇත්තාහු හැඬූහ. (කෙසේදයත්?)

’’දහම් ඇස නිවීයන්නේය. මනා ව්‍රත ඇති (ශ්‍රාවක)යන් නොදකින්නෙමු. සදහම් නොඅසන්නෙමු. අහෝ අපගේ පින් මද බවය (කියායි.)

’’එකල්හි මේ නිශ්චලවූ සියළු පෘථිවි තොමෝ වෙව්ළුම් සහිතව කම්පාවූවාය. සයුරද සෝක සහිතව මෙන් අනුකම්පා කටයුතු සේ නාද පැවැත්වීය.

’’සිව්දිගෙහිවූ, අමානුෂීකවූ භෙරිහු ශබ්ද පැවැත්වූහ. හාත්පස භයජනකවූ අසනීහු (හෙණ) පතිතවූහ.

’’අහසින් උල්කාවෝ පතිතවූහ. ධූමකේතූහුද පෙණුනාහුය. මෘග (ආදී)වූ ගොඩ උපදින සියළු සත්ත්‍ටවෝ අනුකම්පා කටයුතු සේ නාද පැවැත්වූහ.

’’ශාසන විනාශය පවසන දරුණු උත්පාත (භූත විකාරයන්) දැක කලකිරුණාවූ භික්‍ෂූන් සත් නමක්වූ අපි එකල්හි මෙසේ සිතීමු.

’’සසුනෙන් තොරවූ අපගේ ජීවිතයෙන් කම් නැත. අපි මහා වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමුය’’ (කියායි.)

’’එකල්හි අරණෙහි උස්වූ පර්‍වතයක් දුටිමු. හිණිමගෙකින් (එම) පර්‍වතයට නැගී හිණිමග බිම හෙළීමු.

’’එකල්හි (එම පිරිස අතුරෙන්) සංඝ ස්ථවිර තෙමේ අපට (මෙසේ) අවවාද කෙළේය. ’’බුද්ධෝත්පාදය අතිශයින් දුර්ලභය. ශ්‍රද්‍ධා තොමෝද අතිශයින් දුර්ලභ වන්නීය. සසුනද ශේෂව ඇත්තේ ස්වල්පයකි.

’’අෂ්ට දුෂ්ටක්‍ෂණ විනිර්මුක්ත මෙම උතුම් මොහොත ඉක්මවූවෝ අනන්තවූ දුක් සයුරෙහි වැටෙත්. එහෙයින් සර්‍වඥ මතය (බුදුසසුන) පවත්නා කල්හිම (එම) යෙදීම කළයුතුයි.

’’ඒ (ඔවා දුන්) ස්ථවිරතෙමේ රහත්විය. උන්වහන්සේ අනුව ගිය (දෙවැන්නා) අනාගාමී විය. (ධර්මයෙහි) යෙදුනු සෙසු සිල්වතුන්වූ අපි (ඉන් චුතව) දෙව්ලොව ගියෙමු.

’’(අනාගාමීවූ තැනැත්තේ) හුදකලාව ශුද්ධාවාසයෙහිදී තරණය කළ සසර ඇත්තේ (රහත්ව) (එහදී) පිරිනිවන් පෑයේ (විය.) මමද, පුක්කුසාතී (රජ)ද, (එසේම) සහියද, බාහියද, කුමාර කස්සපදැයි (මෙසේ) අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු, ගෞතම බුදුරජුන් විසින් අනුකම්පා කරන ලද්දාවූ සසර බැඳුමින් මිදුනෝ වෙමු.

’’මම මල්ල රටෙහි උපන්නේ මව් කුසෙහිදීම මාගේ මව මළා, චිතකයට නැංවූවා (එම මවගේ මෘත ශරීරයෙන්) වැටුනේ වෙමි.

’’කුස තණ ගොඩෙහි වැටුනේ, ඒ හේතුවෙන් ’’දබ්බ’’ යන නම්න් ප්‍රකටවූයේ වෙමි. බඹසර බලය කරණකොටගෙන මම සත් ඇවිරිදි වූයේ, (සසරින්) මිදුනේ වෙමි.

’’මම කිරිබත් (දන් දීමේ) විපාකයෙන් ආයු, වර්‍ණ, සැප, බල, ප්‍රඥා යන අඞ්ග පසකින් යුක්තවූයේ වෙමි. (රහතන් වහන්සේ කෙනෙකුට නින්දා කිරීමේ) අරියෝපවාද පාපය කරණකොටගෙන බෙහෙවින් චෝදනා ලබන ලදුයේද වෙමි.

’’දැන් මම කුසල් (රැස් කිරීම)ද, අකුසල් රැස් කිරීමද යන මේ දෙකම ඉක්මවූයේ වෙමි. පරම ශාන්තියවූ නිවනට පැමිණ ආශ්‍රව රහිතවූයේ වෙමි.

’’මනා ව්‍රත ඇති භික්‍ෂූන් තුටුකොට සෙනසුන් පැණවීමි. එම ගුණයෙහි තුටුවූ බුදුරජතෙම මා (සෙනසුන් පනවන භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තැබූහ.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් දබ්බ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

දබ්බමල්ලපුත්තත්ථෙරස්සාපදානං චතුත්ථං.