ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
3. මහා කප්පින ථෙරාපදානය
’’සියළු දහම්හි තෙරපත් පදුමුත්තර නම් බුදුරජතෙමේ ලෝකය නමැති අහසෙහි උදාවූ ශරදාකාශයෙහි සූර්‍ය්‍යයා මෙන්,
’’වචන නමැති රශ්මියෙන් විනෙය ජන නමැති පියුම් පුබුදුවති. (එම) ලෝක නායක තෙමේ නුවණ නමැති රැසින් කෙළෙස් නමැති මඩ වියලති.
’’කණමැදිරි එලිය (නොබබුළුවන) හිරු මෙන් තීර්ත්‍ථකයින්ගේ යශස නසයි. සත්‍යාර්ත්‍ථ ප්‍රභාව ප්‍රකට කෙරෙයි. සූර්‍ය්‍යතෙමේ රත්නයන් ප්‍රකටකොට දක්වන්නාක් මෙනි.
’’රත්නයනට සයුර මෙන් ගුණයට රැස්වන තැනක් (ආකාරයක්) වේ. භූත වස්තූන් (තෙමා සමාධියට පත් කරන) වැහි වළාවක් මෙන් ලෝකයා දහම් වැස්සෙන් තෙමයි.
’’මම එකල්හි හංසවතී නගරයෙහි සාරදර්ශීවූ ආචාර්‍ය්‍යවරයෙක් වීමි. (බුදුරදුන් වෙත) එළඹ භික්‍ෂු නට අවවාද කරන්නවුන් අතුරෙන් (අගතැන්පත්) කටයුතු දෑ කොට නිමවූ ශ්‍රාවකයෙකුගේ ගුණ පවසන්නාවූ මාගේ සිත සතුටු කරන්නාවූ (එම) පදුමුත්තර බුදුරදුන්ගේ ධර්‍මය ඇසීමි.
’’(එම ධර්‍මය) අසා සතුටුවූයේ, සොම්නස්වූයේ, ශිෂ්‍යන් සහිතවූ තථාගතයන් පවරා (දන්) වළඳවා එම තනතුර මමද පැතීමි.
’’එකල්හි හංසහඬ ඇති, බෙර හඬකට බඳු මහා ස්වර ඇති, මහත් භාග්‍ය ඇති බුදුරජතෙමේ මෙසේ පැවසූහ. ’’මැනවින් උඩට නැගුනාවූ ඌර්ධවාග්‍රරෝම ඇති, මාගේ පාමුල වැටුනාවූ, මේඝවර්‍ණවූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍යයා දෙස බලච්.
’’මහත්වූ පිරිවර සහිතව, මහා යශස් රඤජනය කරන්නාවූ ප්‍රමුදිත සිත් ඇති මෙතෙම, කටයුතු දෑ කොට නිමවූ භික්‍ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අගතැන් (පත් එම ශ්‍රාවකයාගේ) තනතුර පතයි.
’’මෙම පිණ්ඩපාත දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදියි.
’’දෙවියන් අතුරෙහි දිව්‍යමය සෞභාග්‍යයද, මිනිසුන් අතුරෙහි මහන්තත්‍වයද අනුභවකොට (එම) කර්‍මාවශේෂයෙන් නිවණටද පැමිණෙන්නේය.
’’මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් බඳුවූ ඖරස (බුද්‍ධපුත්‍ර)වූ නම්න් කප්පින නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ (කියායි.)
’’ඉක්බිති මම සර්‍වඥ ශාසනයෙහි (මෙම) මහා පින්කම කොට, මිනිස් සිරුර හැර, තුෂිත දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’දැහැමින් සෙමින් සියක් වරක් මනුෂ්‍ය රාජ්‍යයන් (අනුශාසනය) කොට, බරණැස සමීපයෙහි පෙශකාර කුලයෙහි උපන්නේ වෙමි.
’’භාර්‍ය්‍යාව සහිතවූ මම දහසක් පිරිවරද සමග පන්සියයක් පසේබුදුවරුනට උවටැන් කෙළෙමි.
’’තෙමසක් (මුළුල්ලෙහි දන්) වළඳවා තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ ඉන් චුතව තව්තිසා දෙව්ලොවට ගියෙමු.
’’යලි අපි සියල්ලෝ ඉන් චුතවූවාහු මිනිසත්බවට පැමිණියෙමු. හිමවත් පව් පසෙකින් (පැත්තකින්) වූ කුක්කුට පුරයෙහි උපන්නෝ වෙමු.
’’මම මහත් යසස් ඇති, කප්පින නම් රාජ පුත්‍රයෙක් වීමි. සෙස්සෝ ඇමති කුලයෙහි උපන්නාහු මාව පිරිවැරූහ.
’’සියළු කාම සුඛයන්ගෙන් සමෘධවූ මම මහරජ සුවයට පැමිණයේ වෙළඳුන් විසින් කියන ලද බුදු උපත (ගැන) ඇසීමි.
’’අසමවූ, අසහාය පුද්ගලවූ බුදුරජතෙම ලොව පහළවිය. හෙතෙම උතුම්වූ අමාසුවය (දෙන) සදහම් දෙසති.
’’උන්වහන්සේගේ ශිෂ්‍යයෝදමැනවින් (එම ධර්‍මයෙහි) යෙදුනෝය. ආශ්‍රවයන් කෙරෙන් මැනවින් මිදුනෝය’’ (කියායි.) ඔවුන්ගේ මේ මනා වචනය අසා (එම) වෙළඳුන්හට සත්කාරකොට,
’’රාජ්‍යය හැර දමා, ඇමතියන් සහිතව (තථාගතයන් දක්නට) නික්මුණේය. මුවවිට දක්වා (සමව) පිරුණාවූ චන්ද්‍රභාග මහා නදිය දැක,
’’එහි වැටුනු අයට කිසිදු පිහිටක් නොමැති බැවින් ප්‍රතිෂ්ඨා විරහිතවූ, එල්බ ගැනීමට කිසිවක් නැති බැවින් නිරාලම්බවූ, තරණය කිරීමට දුෂ්කරවූ, ශීඝ්‍රව (වේගයෙන්) ගලා බස්නාවූ (චන්ද්‍රභාග නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ ඉක්මවීමි. (කේසේදයත්?)
’’ලෝකයෙහි කෙළවරට ගියාවූ, (දතයුතුතාක් සියල්ල) දන්නා සර්‍වඥතෙමේ ඉදින් භවය නමැති සැඩපහර තරණය කළේ නම් එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්‍ධි වේවා.
’’ඉදින් ශාන්ති ගමන මාර්‍ගයද, මොක්‍ෂයද අත්‍යන්ත සුඛ වේ නම්, එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්‍ධ වේවා.
’’ඉදින් (ආර්‍ය්‍ය) සංඝ තෙමේ තරණය කරණ ලද (භව) කාන්තාරය ඇත්තේ වේද, නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රය වේද, එම සත්‍ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්‍ධවේවා’’ යි (සත්‍ය ක්‍රියා කෙළෙමි.)
’’(මෙම) උතුම්වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්‍ගයෙන් ජලය ඉවත්විය. ඉක්බිති සුවසේ ගඟින් එතෙරවූයේ, මනරම්වූ ගඞ්ගා තීරයෙහි,
’’උදාවන හිරු මෙන්ද, දිලිසෙන හිමාලය පර්‍වතය මෙන්වූද, බබලන ප්‍රදීප වෘක්‍ෂයක් වැනිවූද, තාරකා සමූහය සහිතවූ සඳු මෙන්, ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද්දාවූද, වර්‍ෂණය කරන්නාවූ මේඝයක් මෙන් (දහම්) දෙසුම් නමැති දිය දෙන්නාවූද වැඩහුන්නාවූ බුදුරජුන් දුටිමි.
’’(මම) ඇමතියන් සහිතව (බුදුරජුන්) වැඳ, එකත්පසෙක හුනිමි. ඉක්බිති බුදුරජතෙමේ අපගේ අදහස් දැන දහම් දෙසූහ.
’’අපි නිර්‍මලවූ ධර්‍මය අසා බුදුරජුන්හට (මෙසේ) කීමු. ’’මහා වීරයන් වහන්ස, අපි භවයෙහි කළකිරුණෝ වෙමු. පැවිදි කරණු මැනව’’ (කියායි.)
’’මහණෙනි, ධර්‍මය (මැනවින් දෙසන ලද බැවින්) ස්වාක්ඛාතය. තොපගේ දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව්’’ යයි විපස්සී බුදුරජුන් පටන් මෙම බුදුරජුන් දක්වා සත්වැනිවූ (ගෞතම) මුනිතෙම වදාළ සේක.
’’එම වචනය අසා අපි සියල්ලෝ භික්‍ෂු වේශ දරන්නාහු, සසුනෙහි උපසපන්වූ, සෝවාන්වූ පැවිද්දෝ වීමු.
’’ඉක්බිති බුදුරජතෙම දෙව්රම් වෙහෙරට ගොස් අනුශාසනා කළ සේක. බුදුරජුන් විසින් අනුශාසනා කරන ලද මම රහත් බවට පැමිණියෙමි.
’’ඉක්බිති (මාගේ පිරිවරවූ) ඒ භික්‍ෂූන් දහසකටද මම අනුශාසනා කෙළෙමි. එකල්හි මාගේ අනුශාසනය කරන්නාවූ ඔවුහුදු ආශ්‍රව රහිතයෝ (රහත්හු) වූහ.
’’එම ගුණයෙහි සතුටුවූ බුදුරජතෙම මහජනයා ඉදිරියෙහි, ’’කප්පින තෙමේ භික්‍ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අග්‍රය’’ යි එතදග්‍රස්ථානයෙහි තැබූහ.
’’මින් (යම්) සියක් දහස්වන කපෙහි මා විසින් කරන ලද (ඒ පුණ්‍ය) කර්‍මය මෙහිදී විපාක දැක්විය. (දුන්නෙන්) මැනවින් මුදා හරින ලද වේගවත් හීයක් මෙන් (එම කර්‍ම ඵලය) මාගේ කෙළෙසුන් දැවීය.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කප්පින තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මහාකප්පිනත්ථෙරස්සාපදානං තතියං.