ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
2. වක්කලි ථෙරාපදානය
’’මින් සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, අලාමකවූ නම් ඇති, අපමණ ගුණ ඇති, නම්න් පදුමුත්තර නම්වූ බුදුරජතෙම ලොව පහළ විය.
’’(එම) බුදුරජතෙම) පියුමකට බඳු මුහුණු ඇත්තේය. ජලය හා (නොගැටෙන) පියුම මෙන් ලෝකය හා නොගැටෙන්නේය.
’’(එසේම) වීරයෙක. සුදු පියුම් පතට බඳු ඇස් ඇත්තෙක. පියුමක් මෙන් සිත්කළුය. උතුම් පියුමක සුවඳට බඳු සුවඳ (මුව) ඇත්තෙක. එබැවින් හෙතෙම පදුමුත්තර නමුදු වේ.
’’එසේම එම ( බුදුරජතෙම) ලෝක ජ්‍යෙෂ්ඨයෙක. (ගුණ) නිපදවන්නෙක. (දෑස් නැති අන්‍ධයනට) ඇසක් වැනියෙක. ශාන්තවූ වෙශ ඇතියෙක. ගුණ නිධානයක. කුළුණු නැණ සයුරෙක.
’’බඹ, අසුර, සුරයන් විසින් පුදන ලද, දෙවියන් සහිතවූ මිනිසුන් විසින් ගැවසීගත් (පිරිවරන ලද), අති උත්තමවූ, ඒ මහාවීරවූ බුදුරජතෙම කිසියම් දිනෙක්හි,
’’සුවඳවත් මුවින්ද, මියුරුවූ හඬින්ද සියළු පිරිස (එහි) රඳවමින් සිය සව්වෙකුට ස්තූති කළ සේක.
’’බැසගත් සැදැහැ ඇති, මනා නුවණැති, මාගේ දැකුමෙහි ලොල්වූ මේ වක්කලී භික්‍ෂුව වැනි මෙබඳුවූ අනික් භික්‍ෂුවක් නැත’’ (කියායි.)
’’එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ පුත්‍රයෙක්ව ( බුදුරජුන්ගේ) ඒ වචනය අසා, එම තනතුර රුචි කෙළෙමි.
’’එකල්හි ශ්‍රාවක සංඝයා සහිත ඒ නිර්‍මල බුදුරදුන් පවරා සතියක් (දන්) වළඳවා (චීවර) වස්ත්‍රවලින්ද හැඳවීමි.
’’උන්වහන්සේගේ අනන්තවූ ගුණ සයුරෙහි සිරසින් (හිස නමා) වැටී (එහි) ගිළුනේ, ප්‍රීතියෙන් සම්පූර්‍ණවූයේ මෙම වචනය කීමි.
’’මුනීන් වහන්ස, මින් සත්වැනි දිනයෙහි (සතියකට පෙර) යම් ඒ භික්‍ෂුවක් තෙම සැදැහැතියනට අග්‍රයයි ඔබ වහන්සේ විසින් පසසන ලදද, මමද එබන්දෙක් වෙමියි (කියායි.)
’’මෙසේ කීකල්හි මහාවීරවූ, නොඇවිරුණු දැකුම් (අනාවරණ ඥාන) ඇති බුදුරජතෙම පිරිස්හිදී මෙම වචනය වදාළ සේක.
’’යාගකොට රන්හුයින් දැමූ පූනනූල් සහිත සිරුර ඇති හේ නෙත් සිත් ඇදගන්නාවූ කසාවත් හඳින්නාවූ මේ මානවකයා දෙස බලව්.
’’මෙතෙම මතු කාලයෙහි ගෞතම බුදුරජුන් කල බැසගත් සැදැහැ ඇති (සද්‍ධාධිමුක්තික)යනට අග්‍රවූ ශ්‍රාවකයා වන්නේය.
’’දෙවිවූයේ හෝ, මිනිස්වූයේ හෝ, සියළු තැවුල්වලින් බැහැරවූයේ, හැම භෝග සම්පත්තීන්ගෙන් පිරිවරන ලදුයේ, සුව ඇත්තෙක් වන්නේය.
’’මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ පුත්‍ර)වූ, නම්න් ’’වක්කලී’’ නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
’’මම එම කර්‍ම විශෙෂය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මම සියළු කල්හි සුව ඇත්තේව, කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, සැවැත්නුවර එක්තරා කුලයක උපන්නේ වෙමි.
’’පිසාචියගේ බියෙන් තැතිගත්තාවූ, බැගෑපත් සිත් ඇති (දෙමාපියෝ) වෙඬරුමෙන් සිවුමැලිවූ, අසෝක දළු මෙන් මොලොක්වූ, උඩුකුරුව හෝනාවූද, හොඳ නොහොඳ නොදන්නාවූ, ළදරුවූ, මා මහර්ෂීවූ බුදුරජුන්ගේ පා මුල සයනස කරවූහ. ’’නාථයන් වහන්ස, පිහිටවනු මැනවැයිද (කීහ.)
’’එකල්හි බිසවුනට පිහිටවූ ඒ බුදුරජතෙම සක් ලකුණු ඇති මුදු කොමල හස්තයෙන් (දැල්හුයින් පිළි)ගත්සේක.
’’මම එතැන් පටන් එම ආරක්‍ෂාව කරණකොටගෙන රක්නා ලදුයේ, සියලු පසමිතුරන්ගෙන් මිදුනේ, සුවයෙන් වැඩුනේ,
’’මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන්වූයේ උකටලීවෙමි. උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’සියළු පාරමිතාවන්ගේ බලයෙන් හටගත්තාවූ, උතුම්වූ ලක්ෂ්මියට (සම්පත්ති වාසස්ථානවූ සියළුම ශුභ වර්‍ණ සණ්ඨාන)යන්ගෙන් ගැවසීගත් ( බුදුරජුන්ගේ) රූපය මම සෑහිමකට පත් නොවූයේ කැමති වෙමි.
’’එකල්හි පස්මරුන් දිනූ බුදුරජතෙම (මා) රූපයෙහි ඇළුනු බව දැක ’’වක්කලිය, කම් නැත. බාලයන් තුටු කරන්නාවූ රූපයෙහි කිම ඇලෙහිද?’’
’’යමෙක් සදහම් දක්නේ වේද, ඒ පණ්ඩිතතෙම මා දකී. සදහම් නොදක්නේ මා දක්නේ නමුදු නොදක්නේමය.
’’කය අපමණවූ දොස් ඇත්තකි. විෂ වෘක්‍ෂයකට බඳු උපමා ඇත්තකි. සියළු රෝගයනට නිවාස ස්ථානයකි. හුදු දුඃඛ පිණ්ඩයකි.
’’එබැවින් රූපයෙහි කලකිරී, ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යය (ඇතිවීම, නැතිවීම) බලව. (ඉන්) සියළු කෙළෙසුන්ගේ කෙළවරට සුවසේ පැමිණෙන්නෙහිය.
’’හිතෛෂිවූ එම (ලෝක) නායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරන ලද එම ගිජුකුළු පව්වට නැගී ගිරිකඳුරෙක්හිදී මැරෙන්නට සිතීමි.
’’ඒ පස්මරුන් දිනූ බුදුරජතෙම (එවිට) කඳු බෑවුමේ සිටියේ, ’’වක්කලී’’ යයි මට ඇමතූ සේක. මම එම වචනය අසා සතුටුවූයේ බොහෝ සිය ගණන් පුරිස් පමණවූ (ශතපුරුෂ ප්‍රමාණවූ) පර්‍වත පබ්භාරය (කන්ද යටින් හෑරී සෑදුනු ප්‍රපාතය)ට පැන්නෙමි. එකල්හි (මම) සුවසේම භූමි ගතවූයේ (පොළොවෙහි පිහිටියේ වෙමි.)
’’(බුදුරජතෙම) නැවතද ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යය පිළිබඳව දහමක් දෙසූහ. මම එම ධර්‍මය දැක රහත් බවට පැමිණියෙමි.
’’එකල්හි මහ නුවණැති, මරණයෙහි කෙළවරට ගිය, නිවන් ලැබීමෙන් මරණ දුක නැතිකළ ( බුදුරජතෙම) අති මහත් පිරිස් මැද (හිඳ) මා බැසගත් සැදැහැ ඇති (ශ්‍රද්ධා විමුක්තික)යනට අග්‍රයයි (අගතන්හි) තැබූහ.
’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වක්කලී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වක්කලිත්ථෙරස්සාපදානං දුතියං.