ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
7. කොඨිත ථෙරාපදානය
’’පසැස් ඇති, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් දිනූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ පින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
’’සව්සත්හට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්‍වයන් සසරින්) එතර කරන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ, බුදුරජතෙම බොහෝ ජන සමුහයා සසරින් එතර කරවූහ.
’’සව් සත්හට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤචවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
’’එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
’’එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙහි සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.
’’එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි.
’’එකල්හි ඒ වීරවූ බුදුරජතෙමේ අර්ත්‍ථයෙහිද, ධර්‍මයෙහිද, නිරුක්තියෙහිද, ප්‍රතිභානයෙහිද යන (මෙහි) දක්‍ෂවූ ප්‍රභේද ගත ප්‍රතිසම්භිදා ඥාන ඇති ශ්‍රාවකයෙකු,
’’එතදග්‍රස්ථානයෙහි තැබූහ. එය අසා ප්‍රමුදිතවූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම්වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
’’මම බුද්‍ධිසාගරවූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්‍රයන්ගෙන් (සිවුරුවලින්) හඳවා, පාමුලෙහි වැටී, එම තනතුර පැතීමි.
’’ඉක්බිති ලෝකාග්‍රවූ බුදුරජතෙම මෙසේ වදාළසේක. ’’මාගේ පාමුලෙහි නැමුනාවූ, පියුම් ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලව්.
’’මෙතෙම ඒ සිව් පිළිසිඹියාවන් දත්, ශ්‍රේෂ්ඨවූ භික්‍ෂුවගේ තනතුර පතයි. (මෙහු තුල ඇති) එම ශ්‍රද්‍ධාවෙන්ද, ත්‍යාගයෙන්ද, දහම් ඇසීමෙන් (යන මෙකී ගුණ කරණකොටගෙන)
’’සියළු තන්හි සුව ඇත්තේව, කුදු මහත් භවයෙහි සැරිසරා, මතු කාලයෙහි මනොරථය ලබන්නෙහිය.
’’මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් කොඨිත නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය’’ (කියායි.)
’’එකල්හි එය අසා සතුටුවූයේම දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තේ, සිහි ඇත්තේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිවරණය කෙළෙමි.
’’මම එම කර්‍ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මම තෙසිය වාරයක් දිව්‍ය රාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. එම කර්‍මයාගේ බලයෙන් සියළු තන්හි සුඛිතවූයේ වෙමි.
’’දෙව් අත්බැව්හිද, මිනිස් අත්බැව්හිද, (යන) දෙඅත්බැව්හි සැරිසරමි. අනික් ගතියකට නොයමි. රැස් කරන ලද පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
’’කැත් කුලයෙහිද, යලි බමුණු කුලයෙහිද යන (මෙම) දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නොඋපදිමි. රැස් කරන ලද පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
’’මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත්නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්නේය.
’’මාගේ මව්තොමෝ චන්‍ද්‍රවතී නම් වූවාය. පියතෙම අස්සලා නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්‍ව ශුද්‍ධියෙන් හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවීද,
’’එකල්හි බුදුරජුන් කෙරෙහි පහන්වූයේ අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්‍ය්‍ය විය. ශාරීපුත්‍ර තෙමේ උපාධ්‍යාය විය.
’’කෙස් කපන කල්හි සහමුලින්ම (සක්කාය) දිට්ඨි තොමෝ සිඳින ලද්දේය. කසාවත් හඳනේ, රහත් බවට පැමිණියෙමි.
’’මාගේ ස්මෘති තොමෝ අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, ප්‍රතිභාණයෙහිද, වෙන වෙනම විනිවිද ගිය බැවින් ප්‍රභෙදගතවූවාය. එහෙයින් ලොවගපත් බුදුරජතෙම (පිළිසැඹියාපතුවන් අතුරෙන්) මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
’’ප්‍රතිසම්භිදාවන් විෂයයෙහි (ප්‍රශ්න) උපතිස්ස (ශාරීපුත්‍ර)යන් විසින් විචාරන ලදුයේ, නිසැකව (ඒවා) (විසඳා) පැවසීමි. එහෙයින්ම මම සම්බුදු සසුනෙහි (පිළිසිඹියා පතුවනට) අග්‍රවූයේ වෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොඨිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මහාකොට්ඨිකත්ථෙරස්සාපදානං සත්තමං.