ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
54. කච්චාන වග්ග
8. ඌරුවෙල කස්සප ථෙරාපදානය
’’පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් ජයගත්තාවූ, පදුමුත්තර නම බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවීය.
’’සව්සත්හට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්‍වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙම බොහෝ ජන සමූහයා සසරින් එතර කරවීය.
’’සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ එම බුදුරජතෙම, පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටවූහ.
’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤචවශිතාවන්ගෙන්) වශීභූතවූ රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
’’එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
’’එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මේ සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළහ.
’’එකල්හි මම හංසවතී නගරයෙහි යහපත්යයි සම්මත බ්‍රාහ්මණයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දහම් දෙසුම් ඇසීමි.
’’එකල්හි මම (මහ පිරිස් ඇතියනට අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ, මහ පිරිස් ඇති බුද්‍ධ ශ්‍රාවකයෙකු දැක සතුටුවූයේ,
’’බමුණන් දහසක් සහිතවූ මම මහ පිරිවරින් බුදුරජුන් පවරා දනක් දුනිමි.
’’මහ දන්දී, බුදුරජුන් වැඳ සතුටුවූයේ, එකත් පසෙක සිටියේ මෙම වචනය කීමි.
’’වීරයන් වහන්ස, මා විසින් ඔබවහන්සේ කෙරෙහි සැදැහැයෙන් (කරන ලද) (පූජා සත්කාර නමැති) අධිකාර ගුණයන් කරණකොටගෙන ඒ ඒ තන්හි උපදින්නාවූ මට මහත්වූ පිරිස (ඇති) වේවා.
’’එකල්හි මේඝ ගර්ජනයකට බඳු මනාවූ (ගම්භීර) ස්වර ඇති, කුරවි කෙවිල් හඬකට බඳු (ස්වකීය) ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිසට (අමතා) මෙසේ කීහ. ’’ස්වර්‍ණ වර්‍ණවූ මහා බාහු ඇති, පියුමකට බඳුවූ මුහුණු හා ඇස් ඇති, ඌධවාග්‍රවූ රෝම ඇති, ප්‍රීතිමත්වූ, මාගේ ගුණයෙහි සැදැහැවත්වූ මෙම බමුණා (දෙස) බලව්. මේ තෙමේ සීහඝොෂ භික්‍ෂුවගේ තනතුර ප්‍රාර්ත්‍ථනා කරයි. අනාගත කාලයෙහි ඒ අදහස ඉටුවන්නේය.
’’මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් කස්සප නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් තෙම වන්නේය’’ (කියායි.)
’’මින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන්වූ, (මෙබඳුයයි) කීමට උපමාවක් නැත්තාවූ, සමානයයි දැක්වීමට කෙනෙක් නැත්තාවූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළවිය.
’’ඒ බුදුරජතෙමේද සියළු (මෝහ) අඳුරු නසා, ලෝකයෙහි ඇති මහත්වූ (තෘෂ්ණා) අවුල නිරවුල්කොට, දෙවියන් සහිත ලෝකයා පිණවමින් අමා වැසි වස්වයි.
’’එකල්හි අපි බරණැස් නුවර රාජ පුත්‍රයෝ වීමු. එසේම අපි (ඔවුනොවුනට) සොහොයුරුවූ තිදෙනෙක් වීමු. සියළු දෙන රජුගේ විශ්වාසයෝද වීමු.
’’එකල්හි කිපුනු පසල් දනව් ඇති රජතෙම, රූසපුවෙන් දිව්‍යපුත්‍රයන් සමාන ශරීර ඇති නොහොත් විරියමය (වීර්‍ය්‍යයෙන්ම කරන ලද) ශරීර ඇත්තවුන් වැනිවූ, බලවත්වූ, යුද්‍ධයෙහි පරාජය නොවූ අප (අමතා) මෙසේ කීය.
’’(දරුවනි) එව්. ගොස් දාමරික සොරුන්හට බලයක්වූ වනයද, පසල් දනව්වද පිරිසිදුකොට (දාමරික බල මැඩ) මාගේ රට සෙමෙහි (තැබීම) කොට නැවත එව්’’ යයි කීය.
’’ඉක්බිති අපි මෙසේ කීමු. ’’ඉදින් ලෝකනායකවූ බුදුරජුන් උවටැන් කිරීම සඳහා අපට දෙන්නෙහි නම් ඒ හේතුවෙන් තොපගේ සතුරන් මැඩීම කරන්නෙමුය’’ (කියායි.)
ඉක්බිති ලබන ලද වර ඇති අපි රජු විසින් මෙහෙයවන ලද්දාවූ, කුපිතවූ පසල් දනව් වැසි දාමරිකයන් බහා තබන ලද අවි ඇත්තවුන් කොට පෙරළා අවුත් රජුගෙන් එම බුදේධාපස්ථානය අයැද, ලෝකනායකවූ ඒ බුදුරජුන් ලැබ දිවි ඇතිතාක් පූජා පැවැත්වීමු.
’’දැහැමෙන් උපයන ලද මාහැඟි වස්ත්‍රද, ප්‍රණීත රසයන්ද, මනරම් සෙනසුන්ද, (සිරුරට) හිත බෙහෙත්ද සංඝයා සහිත බුදුරජුන්හට දී, සිල්වත්වූවාහු, කාරුණිකවූවාහු, භාවනාවෙහි යෙදූ සිත් ඇත්තාහු, හැම කල්හි මෙත් සිතින් යුතුව ලෝකනායකවූ බුදුරජුන්හට පරිවරණය (වතාවත්) කොට, එම බුදුරජුන් පිරිනිවි කල්හිද හැකි පමණින් පූජාකොට,
’’අපි සියල්ලෝ ඉන් සැව තුෂිත දෙව්ලොවට ගියාහු එහි මහත්වූ සැප අනුභව කළාහුය. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’යම්සේ මායාකාරයෙක් රඟමඬලෙහි බොහෝ විකාර දක්වාද, එසේම භවයෙහි කැරකෙන්නාවූ මම විදෙහ රටෙහි අධිපතියා වීමි.
’’ගුණ නම් අචෙලකයාගේ වචනය කරණකොටගෙන මිසදිටු බැව්හි ගිය සිත් ඇත්තේ, වැරදි මගට පිළිපන්නේ, රුජා නම් මාගේ දුවගේ අවවාදය නොපිළිගෙන (මහා) නාරද (කාශ්‍යප) බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුසස්නා ලද්දේ, පවිටු මිසදිටු (බව) හැර
’’මම වෙසෙසින් දශකර්‍ම පථයන් පුරා (මිනිස්) සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
’’පශ්චිම භවය පැමිණි කල්හි මම බ්‍රාහ්මණයෙක් වීමි. සමෘද්‍ධවූ බාරාණසී නගරයෙහි බමුණු මහසල් කුලෙහි උපන්නේ,
’’මරණය, ව්‍යාධිය, ජරාව යන මෙයින් බියවූයේ, මහත්වූ ධනය හැර නිර්‍වාණ පදය සොයන්නේ (ජටාධර තවුසන්වූ) ජටිලයන් කෙරෙහි පැවිදිවීමි.
’’එකල්හි මාගේ සහෝදරයෝ මා සමග පැවිදිවූහ. මම උරුවෙලායෙහි අසපුවක් ඉදිකොට (එහි) විසීමි.
’’උරුවෙලාවෙහි වසන්නාවූ මම ගොත්‍රයෙන් කාශ්‍යප නම් වීමි. එහෙයින් මට උරුවෙල කස්සප යන ප්‍රඥප්තිය (නම) විය.
’’මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගානදිය සමීපයෙහි (විසූ බැවින්) නදීකස්සප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීප නාමයෙන් ගයා කාශ්‍යප නම් විය.
’’කණිටු ගයා කාශ්‍යප දෙසියයක්ද, මැදිබෑ නදී කාශ්‍යපට තුන්සියයක්ද, මට නොඅඩුවූ පන්සියයක්දැයි (දහසක්වූ) සියළු ශිෂ්‍යයෝ මා අනුව ගියාහුය.
’’එකල්හි පුරිසධම්මසාරථීවූ, ලෝකාග්‍රවූ බුදුරජතෙමේ මාගේ සමීපයට එළඹ, නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍යයන් කොට මා හික්මවූහ.
’’මම පිරිවර සහිතව එහිභික්‍ෂුභාවයෙන් පැවිදිවීමි. එම සියළුදෙනා සමගම රහත්බවටද පැමිණියෙමි.
’’එම ශිෂ්‍යයෝද, අනික් බොහෝ දෙනද, මා පිරිවැරූහ. මම (ඔවුනට) අනුශාසනා කිරීමට සමර්ත්‍ථ වෙමි. ඉක්බිති (විපස්සී බුදුරජුන් පටන් සත්වැනිවූ බැවින්) ඎෂීසත්තමවූ (ගෞතම බුදුරජතෙමේ)
’’මහ පිරිස් ඇති බැව්හි මා එතදග්‍ර ස්ථානයෙහි තැබූහ. ආශ්චර්‍ය්‍යයකි. බුදුරජුන් කෙරෙහි කරන ලද මාගේ පුණ්‍ය කර්‍මය සඵලවිය.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඌරුවෙල කස්සප තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උරුවෙළකස්සපත්ථෙරස්සාපදානං අට්ඨමං.