ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

54. කච්චාන වග්ග

9. රාධ ථෙරාපදානය

’’පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගන්නාවූ, පස්මරුන් ජයගත්තාවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවූහ.

’’සව් සත්හට ඔවා දෙන්නාවූ, දහම් පිළිවිදුවන්නාවූ, (සත්ත්‍වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ, බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවූහ.

’’සව් සත්හට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ, (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටුවූහ.

’’මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවාක් විය.

’’එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.

’’එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙම සර්‍වඥතෙමෙ බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක

’’එකල්හි මම හංසවතී නගරයෙහි (වේද) මන්ත්‍රයන්හි තෙරපත් බමුණෙක් වූයේ, එම බුදුරජුන් වෙත එළඹ දහම් ඇසීය.

’’මහත් වීර්‍ය්‍ය ඇති, පිරිස්හි විශාරදවූ, විශිෂ්ඨ නායකත්‍වය ඇති, (පටිභාණෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් මෙම භික්‍ෂුව අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ පටිභාණෙය්‍යක වැටහීම ඇති භික්‍ෂුවක් දැක,

’’එකල්හි මම සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේ කෙරෙහි අධිකාරකම් කොට සිරසින් පාමුල වැටී හෙවත්, හිස පාමුල තබා එම තනතුර පැතීමි.

’’ඉක්බිති දිව්‍ය ස්වර්‍ණයනට වඩා ශ්‍රේෂ්ඨ, සිංගී නම් ස්වර්‍ණ නිෂ්කයක (කලන් විස්ස හෝ විසිපහ නිෂ්කයයි.) පැහැයට බඳු පැහැ ඇති භාග්‍යවත් තෙමේ, කෙළෙස් මල හරනාවූ (සිත්) රැඳවිය යුතු (මිහිරි) ස්වරයෙන්,

’’සුවපත් වේවා, දීර්‍ඝායු වේවා, තාගේ පැතුම් සිදුවේවා, සංඝයා සහිතවූ මා කෙරෙහි කරණලද පූර්‍ව කර්‍මය (ආනිශංස වශයෙන්) අති මහත්ය.

’’මින් (මතු) සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.

’’උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, රාධඝන නම්න් යුත් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.

’’ඔහුග් හේතු සම්පත්තියෙහි හා ගුණයෙහි තුටුවූ, ශාක්‍ය පුත්‍රවූ, නර ශ්‍රේෂ්ඨවූ, ඒ බුදුරජතෙම පටිභාණෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාහ’’ (කියායි.)

’’එය අසා සතුටුවූ එකල්හි මෙත් සිත් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ප්‍රඥාවත්වූයේ, දිවි ඇතිතාක් බුදුරජුන්හට පරිවරණය (සේවය) කෙළෙමි.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති (වශයෙන්) ගියෙමි.

’’මම තෙසිය වාරයක් දිව්‍ය රාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.

’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ගණන් වශයෙන්) මෙතෙකැයි ගිණිය නොහැකිය. එම කර්මයාගේ බලයෙන් සියළු තන්හි සුව ඇත්තේ වෙමි.

’’පශ්චිම භවය පැමිණි කල්හි උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි දුර්ලභවූ වස්ත්‍ර ආහාර ඇති සමෘද්ධ නොවූ බමුණු කුලයක උපන්නේ,

’’තාදී ගුණ ඇති සැරියුත් තෙරුන්හට හැන්දක් පමණවූ පිණ්ඩදානය දුනිමි. යම් කලෙක්හි මම ජීර්‍ණවූයෙම්ද, වෘද්‍ධවූයෙම්ද, එකල්හි ආරාමයට එළඹියෙමි.

’’එකල්හි ජීර්‍ණවූ, දුර්‍වලව ගිය බල ඇති මා කිසිවෙක් පැවිදි නොකරත්. එහෙයින් මම බැගෑපත්වූයේ, දුර්‍වර්‍ණ සිරුරු ඇත්තේ, ශෝකීවූයේද වීමි.

’’මහා කාරුණීකවූ බුදුරජතෙම මා දැක මෙසේ වදාළ සේක. ’’පුත, කුමක් පිණිස සොවින් ආතුරවූයෙහිද? ඔබගේ සිතෙහි හටගත් රිදුම (කුමක්දැයි) කියනු මැනව’’ (කියායි).

’’වීරයන් වහන්ස, ස්වාක්ඛාතවූ ඔබවහන්සේගේ සසුනෙහි පැවිද්ද නොලබන්නෙමි. එම ශෝකය කරණකොටගෙන බැගෑපත්වූයේ වෙමි. (ලෝක) නායකයන් වහන්ස, (මට) පිහිටවනු මැනව’’ යි (කීය.)

’’එකල්හි (විපස්සී බුදුරජුන් පටන් සත්වැනිවූ) ගෞතම බුදුරජතෙමේ භික්‍ෂූන් කැඳවා, ’’යම් කෙනෙක් මොහුගේ කිසියම් උපකාරයක් සිහි කෙරෙත්නම් ඔහු එම උපකාරය පවසත්වා’’ යි වදාළ සේක.

’’එකල්හි සැරියුත් තෙමේ මෙසේ කීහ. ’’ඔහුගේ උපකාරයක් මම සිහිකරමි. (දිනක්) පිඬු පිණිස හැසිරෙන්නාවූ මට (හේ) හැන්දක් පමණ පිඬු දෙවීය’’ (කියායි.’

’’සාධු, සාධු, ශාරීපුත්‍රයෙනි. ඔබ කළගුණ දන්නෙහිය. මේ වෘද්ධ බ්‍රාහ්මණයා පැවිදි කරන්න. මෙතෙම ශ්‍රේෂ්ඨයෙක් වන්නේය’’ යි (වදාළ සේක.)

’’ඉක්බිති පැවිද්දද, කර්‍මවාචා උපසම්පත්තියද ලැබීමි. නොබෝ කලකින්ම ආශ්‍රවක්‍ෂය (නිවණට) පැමිණියෙමි.

’’යම්හෙයකින් සකසා බුදුරජුන්ගේ වචනය මුදිතවූයේ අසමද, එහෙයින් බුදුරජතෙම මා වහා වැටහෙන නුවණක් ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි තැබූහ.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’මෙහි මේ අයුරින් ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

රාධත්ථෙරස්සාපදානං නවමං.